අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැම ජාතියකටම සාධාරණය ඉටුකරන්න බැඳී සිටිනවා - ජනපති

    අප්‍රේල් 22, 2014

    ‍මේ ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් හැම ජාතියකටම සාධාරණය ඉටුකරන්න අප බැඳී සිටින බවත් මේ රටේ සමඟිය, සංහිඳියාව ඇති කරන්න කටයුතු කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ පසුගියදා මඩකළපුව, මන්මුනේ පාලම ජනතා අයිතියට පත්කරමින් පැවති උත්සවය අමතමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේද පැවසීය.
    මම සන්තෝෂ වෙනවා මේ පාලම විවෘත කරන්න අවස්ථාවක් ලැබීම ගැන. ඒ වගේම අවුරුදු සිය ගණනක් ඔබ එහා මෙහා ගියේ බොහෝම අපහසුවෙන්. අවුරුදු ගණනාවක් තිබුණු ප‍්‍රශ්නයක් විසඳන්න පුළුවන්කම ලැබුණේ මේ රජයට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙත් සහයෝගය ඇතිව.


    දැන් සමහර අය ඇවිත් කියනවා මේ පාලම හැදුවාම මේ රටේ යම්කිසි කණ්ඩායමකට, මේ ගමේ ජීවත්වන ජනතාවට අසාධාරණයක් සිදුවෙන්න ඉඩ තිබෙනවා කියලා. යම් යම් මන්තී‍්‍රවරුන්, දේශපාලන වශයෙන් ඇවිත් ප‍්‍රකාශ කරනවා. මම ඔබට එක සහතිකයක් දෙනවා. කිසිම ජාතියකට කිසිම ජාතියක් පාවා දෙන්න, පාගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම එයට අපි ඉඩ තියන්නෙත් නැහැ කියලා අපි පැහැදිලිව කියන අතර මෙතන ඉන්න සියලුම නායකයන් මේ රටේ ජනතාවට අසාධාරණයක් නොවෙන්න වගබලා ගන්නවා කියන එකත් කියනවා.

    ඒ වගේම බොරු ප‍්‍රචාර, නොයෙක් කටකතා, නොයෙක් ගැටුම් ඇති කරන්න නොයෙක් කණ්ඩායම් මහන්සි ගන්නවා. සමහර අයගේ සුළු ප‍්‍රකාශ මහා ප‍්‍රශ්න ඇති කරන ප‍්‍රකාශ බවට පත්වෙනවා. ඒ නිසා අප සියලුදෙනා සංහිඳියාවක් ඇති කරගෙන, අවුරුදු තිහක් බැටකෑවා ඇති, අවුරුදු තිහක් ආපස්සට ගියා ඇති, ඔබේ දරුවන්ට මේ රටේ අධ්‍යාපනයක් ලබලා මේ රට තුළ, තමන්ගේ මාතෘ භූමිය තුළ, නිදහස්ව, නිවහල්ව බියෙන් තොරව, සාධාරණව ජීවත් වෙන්න, තිබෙන අයිතිය ආරක්ෂා කරන්න අප බැඳී සිටිනවා. අද රට සංවර්ධනය කරගෙන යන වෙලාවක, රටේ සංහිඳියාව ඇති කරලා සියලුම ජාතීන් එකතු කරගෙන මේ ගමන යනවා. අද මෙතැනට ආවාම එය පෙනෙනවා.

    විදේශ බලවේග ඉතාම සියුම් විදිහට කි‍්‍රයාත්මක වෙන යුගයක, මේ රටේ ජාතික සමඟිය නැති කරන්න ඔවුන් මහන්සි ගන්න වෙලාවක අපේ යුතුකමක් තිබෙනවා. මේ රටේ ත‍්‍රස්තවාදය අවසන් කරලා, රටේ සංවර්ධනය ඇති කරලා, ජාතියේ, රටේ උන්නතියට කටයුතු කරන්න ඔබ සියලුදෙනා සූදානම් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

    මෙහිදී ජනාධිපතිතුමා දෙමළ බසින් ද අදහස් දැක්වීය.

    අද ඔබ හැමෝටම සතුටු දවසක්. ඔබලාගේ දීර්ඝ කාලීන සිහිනය සැබෑ වූ දවසක්. මේ දවස කවදාවත් අමතක කරන්න බැහැ. මේ ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් වුණා මේ පාලම. දේශපාලන නායකයන් කීපදෙනෙක්ම, ඇමතිවරුන් කීපදෙනෙක්ම, දේශපාලඥයන් කීපදෙනෙක්ම මේ පාලම තනන්නට දීර්ඝ කාලයක් තිස්සේ පොරොන්දු වුණා.

     

    කොයි තරම් පොරොන්දු වුණාද? නමුත් කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. නමුත් අද එය යථාර්ථයක් බවට පත්වෙලා තිබෙනවා. මෙය ඉතාමත් වැදගත් පාලමක්. මෙය ලොකු වරප්‍රසාදයක්. ආරයම්පදි ප්‍රදේශයත්, කොක්කඩ්ඩිචෝලේ ප්‍රදේශයත් යා කරන පාලමක්. පඩුවාන්කරේ ජනතාවත් එළුවාන්කරේ ජනතාවත් එක්කරන වැදගත් පාලමක්. තාලන්කුඩා, මන්මුනේ හා මාවඩි මුන්මාරි මාර්ග සම්බන්ධ කරන පාලමක්. පුරාතන තාන්තොන්ඩ්‍රි ඊශ්වර, සිවන් කෝවිලට යන්න ඉතාමත් පහසු වන පාලමක්. කවුරු මොනවා කීවත්, කවුරු මොනවා කළත් අපි අපේම රටේ ජනතාව කිසිමදාක අමතක කරන්නේ නෑ. කියන දේ කරනවා. ඔබ හැමෝම දියුණු වෙන්න ඕනෑ. ඔබේ ප්‍රදේශය දියුණු වන්න ඕනෑ. ඒ වගේම මුළු රටම දියුණු වන්න ඕනෑ.

     

    කිසිම භේදයක් නැතිව අපි හැමෝම එක්සත් වෙමු.

     

    ඔබ සැමට සුබ අනාගතයක් !

     

    NDH/mod

    01 1

     

    01 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya