අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි කලාපවල ජනතාවට තවත් ඉඩම් ඔප්පු 45000ක්

    අප්‍රේල් 22, 2014
    ලබන දෙසැම්බර් වෙනකොට තවත් ඉඩම් ඔප්පු 45,000ක් ලබා දෙන්න මහවැලිය කටයුතු සූදානම් කරලා තියෙනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිරාඳුරුකෝට්ටේ දී පැවසීය. 
      
    මහවැලි බී සහ සී කලාපවල ගොවි පවුල් 5,500කට මහවැලි බිමේ අයිතිය ලබා දීම සඳහා පසුගිය 19 වැනිදා ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ ය.  
     
    එම උත්සවය අමතමින් ජනාධිපතිතුමා ගිරාඳුරුකෝට්ටේදී කළ සම්පූර්ණ කතාව:
     
    අවුරුදු 30ක් 40ක් විතර කාලයක් තුළ මහවැලියේ ජීවත් වුවත් තමන් ජීවත් වුණ ඉඩමේ අයිතිය මව්බිමේ බිම් කොටසේ නීත්‍යනුකූල අයිතියක් ඔබට තිබුණේ නැහැ. ඒක අද තමයි ඔබට හිමි වෙන්නේ. තමුන්නාන්සේලා අතර මතයක් තිබුණා මේ ඉඩම් කොටස ලැබුණට මේකේ අපට අයිතියක් නෑ ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ නිසා අද මේ ඉඩම් අයිතිය තමුන්නාන්සේලාට ලබාදීමට පුළුවන් වීම ගැන අපි සන්තෝස වෙනවා. 
     
    අපි මීට පෙර කිහිප අවස්ථාවකදී තමුන්නාන්සේලා හමුවෙන්න ආවා. ඒ හැම අවස්ථාවකම තමුන්නාන්සේලාගෙන් ඇහුවම මොනවද  ඕනේ කියලා මගෙන් ඉස්සෙල්ලම ඉල්ලුවේ ත‍්‍රස්තවාදය අවසන් කරලා දෙන්න කියලා. ඉඩම්වත් ඕනෙ නෑ කිව්වා. ඊට පස්සේ ත‍්‍රස්තවාදය අවසන් කරලා ආපුවහම කිව්වේ ඉඩම්වල ඔප්පුවේ අයිතිය විතරක් ලබා දෙන්න කියලා. සමහර අම්මලා මට මතකයි එක එක තැන්වලට යවපු ලියුම් මිටි පිටින් අරන් අපේ ළඟට ආවේ ඇස්වල කඳුළු පුරවගෙන. එදා තමයි මම මේ විෂයභාර නිමල් සිරිපාල ඇමතිතුමාට කිව්වේ මේ අම්මලගේ ඇස්වල කඳුළු පිහදාන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. අනාගතය ගැන ඔවුන්ට තියෙන බය ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන තිබුණු බය නැති කරන්න කටයුතු කරන්න කියලා. 
     
    අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරන කොට කිවුවේ අපි මේකට ස්ථීරසාර විසඳුමක් ලබාදෙනවා කියලා. එදා ඉඳන් අපි මේ ඉඩම් ඔප්පු පියවරෙන් පියවර ලබා දෙන්න කටයුතු කළා. මේ දෙසැම්බර් වෙනකොට තවත් ඉඩම් ඔප්පු 45,000ක් ලබා දෙන්න මහවැලිය කටයුතු සූදානම් කරලා තියනවා. ඒක නිසා මේ වැඩපිළිවෙළ වර්ෂයක් වර්ෂයක් පාසා අවසන්වන තුරු කි‍්‍රයාත්මක කරන්න තමයි අපි බලාපොරාත්තු වෙන්නේ. 
     
    මොකද තමුන්නාන්සේලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න දැවැන්ත කාර්යභාරයක් කරන පිරිසක්. ඉස්සර මේ ආර්ථීක සංවර්ධනය ගැන නෙමෙයි මේ ප‍්‍රදේශය ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ. මොකද හාමුදුරුවනේ මේ ප‍්‍රදේශය තුළ සිංහපුර ගත්තත් සේනපුර ගත්තත් අසේලපුර ගත්තත් ඒ ගම්මානවලට හත අට වතාවක් කොටි ගැහුවා. ඒ ගැන ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ . 
     
    එදා ජනතාව බියෙන් ජීවත් වුණේ. කළු පාලම, මහවැලි තැන්න මේ වගේ ස්ථානවලට එකපාරක් නෙවේ තුන් හතරපාරක් පහර දුන්නා. ඒ ත‍්‍රස්තවාදින්ගේ ම්ලේච්ඡ ප‍්‍රහාරයට ගොදුරු වෙන්න වුණා ජනතාවට. තමුන්නාන්සේලා දුක්විඳලා හදාගත්ත වත්ත පිටිය ගේ දොර දාලා යන්න වුණා. අපි මේක දැක්කා. අද අපිට පුළුවන් වෙලා තියෙනවා එදාට වඩා සමෘද්ධිමත් වටාපිටාවක් ඔබට ගොඩනගලා දෙන්න. ඒක නිසා තමයි මේ භූමියේ පූර්ණ අයිතිය ඔබට ලබා දුන්නේ.
     
    මම මේ රැස්වීමට එන්න ඉස්සෙල්ලා මේ ගමේම මහා විද්‍යාලයට ගියා, මහින්දෝදය විද්‍යාගාරයක් ලබා දෙන්න. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හාමුදුරුවනේ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න කම්පියුටර් 64ක් දරුවන්ට හම්බවුණා. ඒ විතරක් නෙමෙයි භාෂාගාරයක්, භාෂාව ඉගෙන ගන්න. ඉංග‍්‍රීසි භාෂාව වේවා දෙමළ භාෂාව වේවා ප‍්‍රංශ භාෂාව හෝ කැමති භාෂාවක් ඉගෙන ගන්න ඒ අයිතිය ලබා දුන්නා. ඒ වගේම ගණිතාගාරයක් ලබා දුන්නා. මොකද අපේ දරුවන් වැඩියෙන් අසමත් වෙන්නේ ගණිතය, විද්‍යාව ඒ වගේම ඉංගි‍්‍රසි භාෂාව. කොළඹ නගරයේ ඉන්න දරුවාත් සමඟ තරග කරන්න පුළුවන් මට්ටමට අපි මේ දරුවන් ගොඩනගන්න ඕන. අන්න ඒ සඳහා තමයි අපි මේ රට පුරා පාසල්වලට මේ විද්‍යාගාරය ලබාදීලා, ඒ පහසුකම් ලබා දීලා තියෙන්නේ.
     
    මට මතකයි හාමුදුරුවනේ මම හැත්තෑවේ හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයා වෙනකොට මුළු දිස්ත‍්‍රික්කයටම තිබුණේ ඒ ශ්‍රේණියේ එක පාසලයි. ඒ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය. එදා අපේ තාත්තලා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටියා අපිට මේ එක පාසල හරි; හරියට හදලා දෙන්න කියලා. ඒකත් හරියට හදලා තිබුණේ නෑ. නමුත් ඒ වෙනකොට යාපනේ තිබුණා පාසල් 37ක්. එදා එහෙම ලොකු වෙනසක් තිබුණා අධ්‍යාපනයේ. අපේ ප‍්‍රදේශ අමතක වෙලා තිබුණා. එක එක හේතු තිබුණා මේවා අමතක කරන්න.
     
    එදා බි‍්‍රතාන්‍ය අධිරාජවාදීන්ට වුවමනාවක් තිබුණේ නෑ. ඌවේ 18 ජාතික නිදහස් සටනින් පස්සේ; රුහුණේ ජනතාවට එහෙම අධ්‍යාපනයෙන් වේවා, හැම අතින්ම ඒ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි ඒවා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා අද මේ පළාත්වලට සංවර්ධනය ලබාදීලා ජීවත් වෙන්න පුළුවන් ප‍්‍රදේශ බවට පත් කරලා තියෙන්නේ. 
     
    අද මේ මහියංගණයේ හැම ගමකටම විදුලිය ලබා දීලා තියෙනවා. අද විදුලිය නැති ගමක් තියෙනවද? විදුලිය අද මුළු පළාතටම දීලා තියෙනවා. මේ රටේ 98%කට දීලා තියෙනවා. එදා ජනතාව ඉල්ලුවේ බොරළු පාරවල්. අද ඉල්ලන්නේ කාපට් දාලා දෙන්න කියලා. අද අපි ඒකත් කරගෙන යනවා. මේ ප‍්‍රදේශයේ ජනතාවට බීමට ජලය ලබාදීම තමයි ඊ ළඟට විසඳන්න තිබෙන ප‍්‍රශ්නය. ඒකත් අපි ලබා දෙනවා. ඒකටත් අවශ්‍ය වැඩපිළිවෙළ අපි දියත් කරලා තියෙනවා. එවිට වකුගඩු රෝගය නිසා ඇති වන ප‍්‍රශ්න විසඳෙනවා. 
     
    හැබැයි අපි මේවා කරන කොට සමහරුන්ට මේවා විහිළුවක් වෙලා. වරායක් හැදුවම දකුණේ හම්බන්තොට වරාය හැදුවම ගල් තියෙනවා කිවුවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවම ඒක පිහිනුම් තටාකයක් කරනවා කිවුවා. මත්තල ගුවන් තොටුපොළ කෞතුකාගාරයක් කරනවා කිව්වා. අපි මේ මහා සංවර්ධනයක් රටට ගෙනල්ලා දුන්නම ඒක ඒගොල්ලන්ට විහිළුවක්. ඔවුන් ඒක කෞතුකාගාරයක් කරන්න හදනවා. මේවට ජනතාව ඉඩ දෙනවද?, මම කිව්වා ජනතාවට බය වෙන්න එපා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. මේ තමයි ඔවුන් දකින පැත්ත. දැන් නැති ප‍්‍රශ්න ඇති කරනවා. ආගම් අතර නැති ආරවුල් ඇති කරන්න හදනවා. 
     
    මේ රටේ  ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තියෙනවා. ඕනැම තැනක ජීවත්වීමේ අයිතිය තියෙන්න  ඕනේ. ඒක නැති කරන්න අපිට බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා බුදු දහම රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ආරක්ෂා කරනවා කියලා. ඉතින් ඒකත් තියෙනවා. ඒ ව්‍යවස්ථාව ඒ විදිහටම තියෙනවා. ඒවා වෙනස් වෙලා නෑ. ඒක ගැන කවුරුත් කලබල වෙන්න ඕනෙත් නෑ. ඒක රැකගැනීම අනිත් ආගම් අතර සහජීවනය ඇති කිරීම, ආගමික නිදහස ලබාදීම අපේ වගකීමක්. ඒ අවශ්‍යතාව අපි ඉටුකරනවා. ඒක නිසා කිසිදෙයක් බලහත්කාරයෙන් කාටවත් වෙනස් කරන්න පුළුවන්කමක් නෑ කියලයි මා විශ්වාස කරන්නේ. 
     
    මේ මහවැලිය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යන එක අපි දකිනවා ජාතික අවශ්‍යතාවක් ලෙස. මට මතකයි මේක ආරම්භ කරන කාලේ සිරිමාවෝ මැතිනිය එදා මූලික වැඩ කටයුතු අවසන් කරලා අපි ඇවිල්ලා මහනුවර පොල්ගොල්ලේ උත්සවයට සම්බන්ධ වුණා. තරුණ මන්ත‍්‍රීවරයෙක් වශයෙන්. අපිට මතකයි ඊළඟ රජය ඇවිල්ලා කඩිනම් මහවැලි වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනිච්චා. හැබැයි අද කාටවත් මතක නෑ පොල්ගොල්ලේ මේ වැඩපිළිවෙළ ආරම්භ වුණා කියලා. සිරිමාවෝ මැතිනියගේ උපන් දිනය තිබුණේ 16 වෙනිදා. ඉතින් ඒකත් අමතක වුණා. 
     
    ප‍්‍රචාරක මාධ්‍යයක් අපි කරන වැඩවලට අපිට නෑ. අපි කරපු වැඩවල ලැයිස්තුව ගන්න ගියාම පැය ගණන් කියන්න ගියොත් වෙන වැඩක් නෑ. තමුන්නාන්සේලාට ගෙදර යන්න වෙන්නෙත් නෑ. ඒවා අපි කියන්න  ඕන නෑ, මේ ජනතාව දන්නවා. ඒක නිසා මම ඒවා කියන්න යන්නේ නෑ. 
     
    අද මේ දෙන ඔප්පුව ඔබට ඔබේ අනාගතයට මහා වටිනා වස්තුවක් වේවි. අපි පැහැදිලිව මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. කවුරු මොනවා කිවුවත් කවුරු මොනවා කළත් අපි අපේ සේවය හැමදාම ජනතාව වෙනුවෙන් කරගෙන යනවා.
     
    ඔබ සැමට සුබ අනාගතයක් !
     
    NDH/HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya