මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය වැයෙන් පසු ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න එක් වන්න- ජනපති සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරයි

    නොවැම්බර් 23, 2022
    • ඩින් ඩියම් පන්නයේ පාලනයකට කිසිඳු ඉඩක් දෙන්නේ නැහැ
     
    බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන්  සියලු දේශපාලන පක්ෂ  එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළැඹෙන දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. 
     
    ඩින් ඩියම්  පන්නයේ පාලනයකට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක නිරතවුවහොත් හමුදාව සහ හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බවත්  ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
     
    මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
     
    කතානායකතුමනි,  පළමුවෙන්ම මම  සුමන්තිරන් මන්ත්‍රීතුමා  ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. මෙම ඉඩම් ගැටලුව පිළිබඳ පසුගියදා වව්නියාවේදී මම වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.මේ ප්‍රශ්නය උතුරට විතරක් සීමා වුවක් නොවෙයි, රටේ බොහෝ ප්‍රදේශ වල මේ ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා මේකට විසඳුමක් ලබාගත යුතුයි. 
     
    එතුමා සඳහන් කළ ආකාරයට ජනවාර්ගික ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන්  1984 සිට මේ දක්වා සියලුදෙනා හොඳින් දැනුවත් වෙලා සිටිනවා. ඒ පිළිබඳ අලුතෙන් කතා කරන්න දෙයක් නෑ. මේකට විසඳුම් ලබාගත යුතුයි. 
     
    මම හිතනවා 75 වෙනි නිදහස් සංවත්සරයේදීවත්  අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි වෙයි කියලා. එහෙම නොවුනොත් 2048 දීත්  මේ රට මේ විදිහටම තිබේවි. අපි දෙමළ ජනතාව සමඟ විශ්වාසය ගොඩනඟාගත යුතුයි. ඒවගේම මේ ප්‍රශ්නය ගැන උනන්දුවෙන් සිටින සිංහල ජනතාවගේද  විශ්වාසය දිනාගත යුතුයි. අවසානයේදී මුස්ලීම් ජනතාවගේ ප්‍රශ්න දෙසත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. මේ වෙනකොට  සාක්ෂි නැතුව රඳවාගෙන සිටින තරුණයන් නිදහස් කිරීම ගැන අපි ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරමින් සිටිනවා.
     
    මේ විවාදය ආරම්භවීමට පෙර විපක්ෂ නායකතුමා වගේම ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිතුමත් කිව්වා පාඩු ලබන ආයතන විකුණන්න, ලාභ ලබන ඒවා කුණුකොල්ලයට  විකුණන්න එපා කියලා. මේ රටේ පුද්ගලිකරණය සහ ජනතාකරණය ආරම්භ වුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේයි. එවකට කර්මාන්ත ඇමතිවරයා ලෙස මම එය ආරම්භ කළා.
     
    අපි පළමුවෙන්ම පෞද්ගලීකරණය කළේ යුනයිටඩ් මෝටර්ස් ආයතය. එය ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම පෞද්ගලිකරණය කළ සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන්, ලංකා මිල්ක් පුඩ්, ලංකා ඩිස්ටිලරිස් මේ සියලු ආයතන ලාභ ලබන ආයතන. ඊළගට වැවිලි සමාගම් පෞද්ගලිකරණය කළා, මේ ඇතැම් ආයතන ලාභ ලැබූ ඒවා, සමහර ආයතන අලාභ ලැබූ ආයතන.
     
    1977 ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 ඊළග පියවර ගත්තා. සමහර ආයතන රජයේ පාලනයෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට භාර දෙන්න. මෙහිදී උදාහරණ කර ගත්තේ චීනයේ ඩෙන්ග් ෂියෝපින්ග්  මහතා ආරම්භ කළ වැඩසටහන. අපි එය ඉදිරියට ගෙන ගියා. නැවත උත්සාහ කරන්නේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න.
     
    ඊයේ මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අලාභ ලබන ආයතන විතරයි පෞද්ගලීකරණය කළයුත්තේ කියලා. එතුමාගේ සහයෝගයට විපක්ෂනායකතුමත් කිව්වා අලාභ ලබන ආයතන විතරයි විකුණන්නේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා. ඉතින් අපි තීරණය කරමු මොකක්ද අපි කරන්නේ කියලා.
     
    මම අගමැතිතුමාගේ කතාවටත් ඇහුම්කන් දුන්නා. අද අපි  වාසනාවන්ත වෙලා තිබෙනවා මේ සභාවේ සාමාන්‍ය විදියට වාද විවාද කරන්න. මේක හැම රටකම කරන දෙයක්. ඒත් මැයි 09 වැනිදා සහ ජූලි 13 වැනිදා අතර මෙවැනි සාමාන්‍ය තත්ත්වයක් තිබුනේ නැහැ. 
     
    මැයි 09 වෙනිදා සිදුවීම පිළිබඳ දැන් අපි උසාවියට ගිහින් තිබෙනවා. එක මන්ත්‍රීවරයෙක් මහපාරේ අමු අමුවේ මරා දැමුවා. අනෙක් මන්ත්‍රිතුමා තමයි “ගෝඨා ගෝ හෝම්" කියලා ඉස්සෙල්ලාම කිව්වේ. එතුමා අනූ නවයෙන් බේරුනේ. කොහොමද අපි මේක අනුමත කරන්නේ. මෙවැනි සිදුවීම්වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. 
     
    ඊට කළින් සතියේ අපි කතාකරනකොට එතුමා කිව්වා ආණ්ඩුව වැට්ටවිය යුතුයි කියලා. එහෙම කියපු කෙනාව කාර් එකේ දාලා ගිනි තියන්න හදනවා. මේ ආණ්ඩුව වට්ටනවද, ගෝඨාභය රාජපක්ෂ එක්කද, මහින්ද රාජපක්ෂ එක්කද හිටියේ මේවා ඇතුලේ විසඳාගත යුතු ප්‍රශ්න. කවුරුත් මරා ගන්න අවශ්‍ය නැහැ. 
     
    ගෙවල් ගිනි ගත්තු සමහර අය එදා අරලිගය මන්දිරයේ රැස්වීමට ගියෙවත් නැහැ. මම කිහිප දෙනෙක්ට කතා කළා. ඔවුන් වෙන වෙන තැන්වල හිටියේ. මම අහන්නේ එක ප්‍රශ්නයයි. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතියලා මොකක්ද කරන්න පුළුවන්. 
     
    අපි දන්නවා ගැටුමක් ඇතිවෙලා නාලන්ද එල්ලාවල මහතා මරණයට පත්වුණා. අපේ මන්ත්‍රීවරු ඒකට සම්බන්ධවෙලා තිබුණා. ඒ අය අත්ඩඅංගුවට ගත්තා. ඒත් අපිට සහයෝගය දෙන අයගේ ගෙවල් රත්නපුරේ පැත්තේ ගිනි තිබ්බා. අපි එදා ඒකට විරුද්ධ වුණා. විපක්ෂයේ වුණත්, ආණ්ඩු පක්ෂයේ වුණත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න බැහැ. මේ මන්ත්‍රිවරු අහසින් වැටුණ අය නෙවේ, හොද අය වගේම නරක අයත් ඉන්නවා. මන්ත්‍රීවරු 196 දෙනෙක් මෙතනට ආවේ ඡන්දදායකයින් තෝරගත්ත නිසා. මනාප 03ක් ජනතාවට තිබුණා. 
     
    ඒ මනාප ලබා දීලා තමන්ගේ නියෝජිතයන් තෝරගත්තා. එහෙම නම් ඒ අයට වැඩ කටයුතු කරන්න අපි අවස්ථාව ලබාදිය යුතුයි. 
     
    අපි ඊළග ඡන්දයේ දී කියනවා මීට වඩා හොඳ අය අවශ්‍යයි කියලා. සමහර වෘත්තියවේදින් කියනවා අපිට බිරිඳ එන්න දෙන්නේ නැහැ, ගිහින් ගෙදර ගිනිතියාගන්න එපා කියලා  කියලා. එතකොට ආසනයේ චන්ඩියෝ ඉන්න අයට විතරයි පාර්ලිමේන්තු එන්න පුළුවන්. එහෙනම් අපි මේ අයට ආරක්ෂාව ලබා දිය යුතුයි, වන්දි ලබාදිය යුතුයි. අපි ඔවුන්ව බලාගන්න අවශ්‍යයි.
     
    ජූලි 09 වෙනිදා ජනාධිපතිව පන්නලා දැම්මා. ගිහින් බලන්න ජනාධිපති මන්දිරයට කරලා තිබෙන විනාශය. ඊට පසුව ජනාධිපති කාර්යාලය අත්පත් කරගත්තා. එතන බිම වාඩිවෙලා හිටියා, කාටවත් එන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මම ළග තියනවා ඒ කාලයේ ඔවුන් කියපු සියලු දේවල් පිළිබඳ වාර්තාවක්.
    මම අගමැති ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා මගේ නිවස ගිනි තැබුවා. මම කොහොමද ඉවත් වෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබ්බා. වෙනත් පිරිසකට ඊට වඩා බලයක් ගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. එවිට මට ඉවත් විය හැකියි. ඊළග 13 වෙනිදා ආවා පාර්ලිමේන්තුව අල්ල ගන්න. අගමැති කාර්යාලය අල්ල ගත්තා. පාර්ලිමේන්තුව අල්ලගෙන අපි මෙහෙමයි කරන්නේ, මේකයි ආණ්ඩුව කියලා කියන්න තමයි ඔවුන් සූදානම් වුණේ. එතකොට ආණ්ඩුව රූකඩ ආණ්ඩුවක්නේ.
     
    ඒකයි මම විපක්ෂයට කියන්නේ, වුණ දේ වුණා. එහෙත් මෙවැනි බලවේගවලට යටත් වෙන්න එපා. ජනතාව එතන හිටියේ නැහැ. අන්තිමට මට චෝදනා කළා මම මේක නතර කරන්න ගියා කියලා. විදේශ පුවත්පත්වලට දුන්නා මම වගේ ඒකාධිපතියෙක් කොහෙවත් නැහැ කියලා. 17 වන සංශෝධනය ගෙනාවෙත් මම. ඒකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අද උදව් කරන්නේ, 19 වැනි සංශෝධනය ගෙනාවෙත් මම. ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්, නැත්නම් අපට බලයක් තිබුණේ නැහැ. 21 වන සංශෝධනය ගෙනාවෙත් මම. දැන් මම හිට්ලර් වගේලු, මට මොනතරම් දේවල් කිව්වද, අල් ජසීරා එක කිව්වා රනිල් ඒකාධිපතියෙක්, කටාර් රාජ්‍යයේ වගේ හොඳ ප්‍රජාතන්ත්‍රිවාදියෙක් වෙන්න කියලා. මට ඒ වගේ වෙන්න බැහැ. 
     
    මේ තුළින් සම්පූර්ණයෙන් රාජ්‍ය පාලන ක්‍රමවේදය නැතිවීමට ගියා. පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. කවුද මේක පිටුපස සිටියේ, කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමී පක්ෂය. දැන් අපි 21 වන සංශෝධනය සම්මත කරගත්තා. එහිදී බොහෝ අය ප්‍රකාශ කළා බැසිල් රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයි කියලා. මොකද, එයාට ද්විත්ව පුරවැසිකම තිබෙනවා කියලා. අපි ඒක පිළිගත යුතුයි. කොහොමද පෙරටුගාමි එකේ නායකයා එහෙම කියන්නේ, එයාටත් ඕස්ටේ්‍රලියාවේ සහ ලංකාවේ  ද්විත්ව පුවැසිකම තිබුණනේ. මෙයා නරක් වෙලා, එයා හොඳ වෙන්න බැහැ. 
    අපි බැසිල් රාජපක්ෂ මහත්තයට කියනව නම් ඔබතුමා එන්න එපා කියලා, අපි බලය දෙන්න යන්නේ ඡන්දෙන් ආපු කෙනෙක්ට නොවෙයි. ද්විත්ව පුරවැසිභාවය තිබෙන කෙනෙක්ට. බැසිල් රාජපක්ෂ මහත්තයට චෝදනා තියනවා. මම අගමැතිවෙලා ඉද්දි එතුමාව උසාවියටත් ගෙන ගිහින් තිබුණා. 
     
    රිමාන්ඩ් එකෙත් හිටියා. මොනවද කුමාර් ගුණරත්නම්ට විරුද්ධව තිබෙන චෝදනාව, උතුරේ යුද්ධය කාලයේ ඉන්දියන් සාම හමුදාවේ අය මැරුවා කියලා. මේකද අපේ විමුක්තිය.
     
    මොකක්ද මැයි 09 වෙනිදා සහ ජූලි 04 වෙනිදා සිදු වුනේ, අපේ පන්සල් කිහිපයකට තර්ජනය කළා, ගිනි තියනවා කියලා. මල්වතු, අස්ගිරි විහාරවල මහා සංඝරත්නයට තර්ජනය කළා කථා කරන්න එපා කියලා. අපේ සංඝයා වහන්සේ බිය වෙලා කථා නොකර හිටියා. එතකොට කොහොමද ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ආරක්ෂා වෙන්නේ, බුද්ධාගම ආරක්ෂා කරන්න අපි ව්‍යවස්ථාවෙන් බැඳි සිටිනවා. කවුද මේවා පිටුපස සිටියේ, අපේ තරුණ භික්ෂුන් වහන්සේලාව මේවට යොදව ගත්තා. උන්වහන්සේලා ගිහින් මහනායක හිමිවරුන්ට කිව්වා ඔබවහන්සේලා අයින් වෙලා අපිට නායකකම දෙන්න කියලා. 
    හින්දු පූජකවරුන්ට තර්ජනය කළා. මුස්ලිම් අයටත් එහෙමයි. කතෝලික රදගුරු සභාවත් කිව්වා අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා. එතකොට කොයි ආගමික නායකයින් ද මේ අයත් එක්ක හිටියේ. අපි කොහොමත් කැමති නැහැ මේ රට ඩින් ඩියම් පාලනයකට ගෙනියන්න. 
     
    ඩින් ඩියම්ලටත්,  ඒ වටේ ඉන්න අයටත් මම ඉඩ දෙන්නේ නැහැ. දැන් කියනවා ආපහු අරගලය කරනවා කියලා. ඕන කෙනෙක්ට පුළුවන් රැස්වීම් තියන්න, ඔබතුමන්ලා රැස්වීම් තිබ්බා, ජනතා විමුක්ති පෙරමුණ රැස්වීම් තිබ්බා. උතුරේ TNA එක රැස්වීම් තියනවා. 
     
    රැස්වීම්, විරෝධතා, පාගමන් නීත්‍යානුකූල විදියට කරන්න.  මම ඒකාධිපතියෙක් කියලා ඕන තරම් කෑ ගහන්න. කමක් නැහැ. මම එකක් කියන්න ඕනැ, බලපත්‍රය අරගෙන පාරට එන්න. අනිත් වාහන අවහිර කරන්න එපා. එක පැත්තකින් යන්න. වෙන දෙයක් මම ඉල්ලන්නේ නැහැ. 
     
    ඒත් කවුරුහරි හිතනව නම් බලපත්‍රයක් නැතිව තව අරගලයක් කරන්න පුළුවන් කියලා ඒක නවත්වන්න.  මම මේ පිළිබඳ පොලීසියට කියලා තිබෙනවා. ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් කරනවා නම් මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා, හදිසි නීතිය දානවා. මේ රටේ ඩින් ඩියම්ලාට තැනක් නැහැ.
     
    කුමාර් ගුණරත්නම් එක්ක කවුද දැන් යන්නේ, එයා හොදයි නම්, එතකොට බැසිල් රාජපක්ෂ‌ට විරුද්ධව  කථා කරන්න බැහැ. හැමදාම කෑ ගැහුවා කියලා ජනතාව ඒ අය එක්ක ඉන්නේ නැහැ. මේ බලවේග හැදුවේ කොයි මාධ්‍යයද කියලා බලමු. ගිනි තබන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමු. ඒකට කොමිෂන් සභාවක් මම පත් කරන්න ඉන්නේ.
     
    පාස්කු ඉරිදා බෝම්බයෙන් පස්සේ අපි කොමිසම් සභාවක් පත් කළා. මටත් ඒකට ගිහින් සාක්ෂි දෙන්න තිබුණා. ඒහෙම නම් මේ සඳහාත් අපි කොමිෂන් සභාවක් පත් කරන්න අවශ්‍යයි. අපි 22වන සංශෝධනය ගෙනාවා. මේ කොමිෂන් සභා සියල්ල පත් කළා. දැන් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කරන්න යනවා. මැතිවරණ වියදම් සීමා කරන කෙටුම්පත ගෙනාවා. තව හුගක් කරුණු ක්‍රියාත්මක කරන්න තිබෙනවා. දැන් මේ කොමිසන් සභා ක්‍රියාත්මක වන නිසා විපක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් අර තරුණ පස් දෙනා තෝරන නිර්නායක තීරණය කරන්න. මේ දෙසැම්බර් මාසය අවසන් වෙන්න කලින් ඒ අයගේ නම් ටිකවත් අරගෙන ජනවාරි මාසයේ ඒ අයව පත් කරන්න කටයුතු කරන්න. 
     
    අපිට තිබෙන්නේ වෙනසක් කරන්න. මම නම් පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ නැහැ. මේ රටේ ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් රටේ බොහෝ දෙනෙක්ට ඡන්ද එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. අද සජබෙ රැස්වීමට ගියත් තිබෙන්නේ මම දන්න කියන මුහුණු. අලුත් මුහුණු එකක්වත් නැහැ. තරුණයින් බලන්නේ මේකේ වෙනසක් කරනවද, නැද්ද කියලා. ඒ වෙනස කළාට පස්සේ අපි ඡන්දයකට යමු. එතකොට ඕන කෙනෙක්ට බලය ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි කියලා මනාප ක්‍රමය තියෙනකම් මේ රටේ  දූෂණය තිබෙනවා. 
    එදා ආසනයක් දිනාගන්න මිලියන 25ක් 50ක් වියදම් කළා. අද ඡන්ද කරන්න හිතන්නවත් බැහැ. අපි මේවා සිතිය යුතුයි. මම කියන්නේ මේ ක්‍රමවේදය කඩිනමින් වෙනස් කළයුතුයි. මම නැවත විපක්ෂයට කියනවා අපි සියලුදෙනා එකතු වෙලා ඒ වැඩකටයුතු කරමු. මට මේ සියලුදෙනා සමග වැඩකරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපි මේ වැඩපිළිවෙළ කොහොමද කරන්නේ කියලා මේ වසර අවසන් වෙන්න කළින් කතා කර ගනිමු. 
     
    අය වැය තෙවැනි වර කියවීමෙන් පසුව අපි ඔක්කොම එකතුවෙලා මෙයට ස්ථීර විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡා කරමු. ඒ සඳහා 11 වනදායින් පසුව කැඳවන රැස්වීමට සහභාගීවන ලෙස මම සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරනවා. 
     
    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya