නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    ''2023 අයවැය කතාව'' ශ්‍රී ලංකාව - නව ආරම්භයක් කරා ප්‍රවේශය  

    නොවැම්බර් 14, 2022
    2023 අයවැය කතාව
    ශ්‍රී ලංකාව - නව ආරම්භයක් කරා ප්‍රවේශය...
     
     
    ගරු කථානායකතුමනි,
     
     
     
    ගෙවුණු මාස කීපය තුළ අප ගත් වෙහෙසකර සහ දුෂ්කර ක්‍රියා පිළිවෙත් නිසා, ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට ආලෝකයක් වැටී තියෙනවා. දවස් ගණන් පෝලිම්වල හිටපු, තැන් තැන්වල පදිංචිවෙලා අරගල කරපු යුගය පසුකර, දුක්කරදර යම් ප්‍රමාණයකට සමනය වුණු සැනසිලිදායක යුගයකට අපි ළඟාවෙලා තියෙනවා.
     
     
    මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව චීනය සහ ඉන්දියාව සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ අදහස් හුවමාරු කරගන්නවා. මේ සාකච්ඡාවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙතැයි අපට විශ්වාසයක් තියෙනවා.
     
     
    පසුගිය කාලය තුළ අප අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා උද්ධමනය යම් ප්‍රමාණයකින් පාලනය කර ගන්න පුළුවන් වුණා. ඒ වගේම රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. මේ තත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම අපේ බලාපොරොත්තුවයි. තව දුරටත් මේ පියවර ඔස්සේම ඉදිරියට යෑමෙන්, ලබන අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගැනීමට අපට පුළුවන්කම ලැබෙන බව මට විශ්වාසයි.
     
     
    නමුත් එතැනින් සෑහීමකට පත්වෙන්නට අපට බැහැ. අප අලූත් ගමනක් ආරම්භ කළ යුතුයි.
     
     
    පසුගිය අගෝස්තු මාසයේ අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කරමින්, මම සඳහන් කළේ මෙතෙක් අපේ රටේ පැවති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කිරීම අතුරු අයවැය යෝජනාවල අරමුණ බවයි. අද ඉදිරිපත් කරන 2023 අයවැය යෝජනා ඔස්සේ නව ලෝකයට ගැලපෙන  නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත්, මම එහිදී සඳහන් කළා.
     
     
    නිදහසින් පසුව අවුරුදු හැත්තෑපහක් ගෙවී යන අවස්ථාවේ, අපේ රට පත්ව ඇති තත්වය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අපට වැරදුණේ කොතැනද? අප වරද්දා ගත්තේ කොතැනද?
     
     
    මම ඉපැදුණේ නිදහස් ලංකාවෙ. ලංකාවට නිදහස ලැබිලා අවුරුද්දකට පස්සෙ. ඒ වෙනකොට ආසියාවේ සංවර්ධිතම ආර්ථිකය තිබුණේ ජපානයේ. ලංකාවේ අපි හිටියේ දෙවැනි තැන කියන එක ප්‍රසිද්ධ කරුණක්. අද ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3,815 යි. ජපානයේ ඇමෙරිකානු ඩොලර් 39,285 යි.
     
     
    මගේ තවත් පුද්ගලික අත්දැකීමක් මට සිහිපත් වෙනවා. 1991 අවුරුද්දේ, මම කර්මාන්ත ඇමති ධූරය දරන අවදියේ වියට්නාමයේ කර්මාන්ත ඇමතිතුමා ලංකාවට ආවා. අපේ විවෘත ආර්ථික ක්‍රමය පිළිබඳවත්, කාර්මීකරණ උපාය මාර්ග පිළිබඳවත් අධ්‍යයනය කරන්නට එතුමාට අවශ්‍ය වී තිබුණා. මම එතුමාව දැනුවත් කළා. මහකොළඹ ආර්ථික කොමිසමේ නිලධාරීන් සමගත් සාකච්ඡා කරන්නට එතුමාට අවස්ථාව සලසා දුන්නා. 1995 වසර වන විට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 යි. වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 යි. වියට්නාම් ඇමතිතුමා අපේ ක්‍රමවේදයන් හදාරා තමන්ගෙ රටට ගියා. අද තත්වය මොකද්ද? 2021 වසරේ දී වියට්නාමයේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 109.4 යි. ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 යි.
     
     
    අපි ආපසු හැරී බලමු. පාට පාට දේශපාලන කණ්ණාඩි ගලවා බලමු. අපට වැරදුනේ ඇයි? අපට වැරදුණේ කොතැනද? අපට වැරදුණාද? එහෙමත් නැත්නම් අපි වරද්දා ගත්තාද?
     
     
    අද අපේ රට ආදායම් ලබන ප්‍රධාන ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. එකක් වැවිලි ආර්ථිකය.  ඊළඟට නිදහස් වෙළඳ කලාප. ඇඟළුම් කර්මාන්ත. සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා. එහෙම බලපුවාම නිදහසින් පසුව, රටට විදේශ ආදායම් ලබා ගත හැකි ප්‍රධාන මාර්ග කීපයක් විතරයි අපට නිර්මාණය කරගන්නට පුළුවන් වෙලා තියෙන්නෙ. එතැනින් එහාට මහා පරිමාණයේ විදේශ ආදායම් ලබන ක්ෂේත්‍රයන් අපට තවමත් නිර්මාණය කරගන්නට බැරිවුණේ ඇයි? මෙය අප විමසිල්ලෙන් සිතා බැලිය යුතු කරුණක්.
     
     
    පසුගිය කාලය පුරා අපි උද්දාමයට පත්වුණේ, සතුටු වුණේ, අනාගතයට වැඩදායක කාරණා වෙනුවෙන්ද නැත්නම්, ඒ ඒ අවස්ථාවන්හි මතුපිටින් දකින්නට ඇති කාරණා වෙනුවෙන්ද? සාර්ථක පුද්ගලික ව්‍යාපාර ජනසතු කරද්දී ජනතාව සතුටු වුණා. නොමිලේ හාල් දෙද්දී ජනතාව සතුටු වුණා. එවැනි තීරණ ගත් ආණ්ඩු තාවකාලිකව ජනප්‍රිය වුණා.
     
     
    මේ නිසා පාරට විදුලි ලාම්පුවක් සවි කිරීමෙන් අපි සෑහීමකට පත්වුණා. හැබැයි විදුලි උත්පාදනය වැඩි කිරීම ගැන අපි ගැඹුරු ලෙස කල්පනා කළේ නෑ.
    ඇත්තෙන්ම රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම් වෙන්නේ ජනප්‍රිය තීන්දුද? එහෙමත් නැත්නම් නිවැරදි තීන්දු ද? අපේ රටේ බොහෝ අවස්ථාවල සිදුවුණේ නිවැරදි තීන්දු වෙනුවට ජනප්‍රිය තීන්දු ගැනීමයි. අදත් බොහෝ අය උත්සාහ ගන්නේ ජනප්‍රිය තීන්දු ගැනීමටයි.
     
     
    මේ ජනප්‍රිය තීන්දු සම්ප්‍රදායේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? සහන ආර්ථිකයක්, සහන මානසිකත්වයක් රට පුරා ගොඩ නැගීමයි. ජනතාව පුරුදු වී ඉන්නේ සහන ලබා ගැනීමටයි. ආණ්ඩු ක්‍රියා කරන්නෙත් ජනතාවට දියුණු වීමේ අවස්ථාවන් නිර්මාණය කරන්න නෙවෙයි. සහන ලබා දීමටයි.
     
    එක්දහස් නවසිය පණස් ගණන් සිහිපත් කරමින් වරෙක ලීක්වාන්යූ මෙන්න මෙහෙම සඳහන් කළා.  ”සිංගප්පූරුවේ මම දුෂ්කර, එහෙත් නිවැරදි මාවත අනුගමනය කළෙමි. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජනප්‍රිය මාවත අනුගමනය කළේය.”
     
    මේ ජනප්‍රිය මාවතේ තව දුරටත් ඉදිරියට යෑමෙන් රටට අනාගතයක් නෑ. හැමදාමත් අනුන්ට ණය වෙමින්, සහන ලබා දුන්නා කියා රටට ඇතිවන සුගතියක් නෑ. ඉතින් අපි දැන්වත් මේ තත්වයෙන් මිදෙමු. අපේ චින්තන රටාවන් වෙනස් කරගනිමු.
     
    ඒ නිසා අපි අලූතෙන් හිතමු. රට ඉදිරියට ගෙන යෑම උදෙසා අලූත් ප්‍රවේශයන් නිර්මාණය කරගනිමු.
     
    1. 1977 ප්‍රවේශය
     
     
    1.1 1977 දී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව එතෙක් පැවති ආර්ථික චින්තනය වෙනස් කිරීමට සාධනීය පියවරක් ගත්තා. අසාර්ථකත්වයට පත්වී තිබූ සංවෘත ආර්ථිකය වෙනුවට වෙනස් මාවතක් තෝරා ගත්තා. සහන ලබා දීම වෙනුවට අවස්ථා ලබා දෙන ආර්ථිකයක් නිර්මාණය කළා. නොමිලේ සහල් ලබා දීම වැනි සංකල්ප සම්පූර්ණයෙන්ම ඉවත දැම්මා. ඒ වෙනුවට හැකියාවෙන්, දක්ෂතාවයෙන් ඉදිරියට යා හැකි නව අවස්ථාවක් නිර්මාණය කර දුන්නා. ආර්ථිකය විවෘත කළා. රට පිබිදුණා. දුප්පත්කම අඩුවුණා. මධ්‍යම පංතිය පුළුල් වුණා.
    1.2 නමුත් 1977 නිර්මාණය කළ ආර්ථික පදනම වේගවත්ව ඉදිරියට ගෙන යන්නට හැකි වුණේ නෑ. සිවිල් අරගල වැනි පරිබාහිර සාධක ගණනාවක් හේතුවෙන් ඒ ගමන අඩපණ වුණා. කාලයට අනුකූලව අවශ්‍ය වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සිදු කෙරුණේත් නෑ.
    1.3 රජයේ ආදායම් වැඩි කරගැනීම, විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීම වැනි කාර්යයන් වෙනුවට රජයේ වියදම් දරන්නට බැරිතරම් වැඩි කර ගැනීමට කටයුතු කෙරුණා. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කිරීමට විශාල මුදලක් වැය කළා. දේශපාලන වාසි වෙනුවෙන් අනවශ්‍ය වියදම් කන්දරාවක් කළා. මේ සියල්ල කළේ රටෙන් උපයන ආදායමෙන් නෙවෙයි. ලෝකයට ණය වෙමින්.
    1.4 බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයේ ණය ගැනීම් ගැන මෙවැනි අදහසක් දක්වා තියෙනවා.  ”ණය ගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහායි.” නමුත් අපි කළේ මොකද්ද? ලෝකයේ වෙනත් රටවල ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදල්, ණයට ගනිමින් ඒවා අපේ පරිභෝජනය සඳහා වියදම් කිරීම. අපි දවසින් දවස අලස වුණා. හැමදේම ආණ්ඩුවෙන් ලබා ගැනීමට ජනතාව පුරුදු වුණා. හැමදේම ජනතාවට ලබා දෙන්න ආණ්ඩු කටයුතු කළා. අප කල්පනා කළේ අපෙන් රටට විය යුතු දේ ගැන නෙවෙයි. රටෙන් අපට විය යුතු දේ ගැන පමණක් හිතන සමාජයක් කෙමෙන් කෙමෙන් නිර්මාණය වුණා. අපි කළේ රටට ණය වෙමින් මගුල් කනවා වගේ වැඩක්.
    1.5 මේ නිසා 1977 ආර්ථික පදනමෙහි දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
     
     
    2. තරුණ පරපුරේ අපේක්ෂා
     
    2.1 නිදහසින් පසු වසර 75 ක් තිස්සේම අපි ජාතික සම්පත් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා. ජාතික සම්පත් රැක ගැනීම ගැන උද්ඝෝෂණ කරනවා. සටන් වදිනවා. ඒත් ඇත්තටම අපි අපේ සැබෑ ජාතික සම්පත ආරක්ෂා කරගෙන තියෙනවාද? සැබෑ ජාතික සම්පත් වෙනුවෙන් අනාගතයක් නිර්මාණය කර දී තියෙනවා ද?
    2.2 අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. ඒ තරුණ පරපුරට අධ්‍යාපන, සමාජ සහ ආර්ථික අවස්ථා නිර්මාණය කරදීම වෙනුවෙන් අප මෙතෙක් කර ඇති කාර්ය භාරය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? ඒ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම උදෙසා අප නිසි කාර්ය භාරයක් කර ඇත්නම්, ඔවුන් රට හැර යන්නට පෝලිම් ගැහෙන්නේ ඇයි?
    2.3 ජාතික සම්පත් කියන්නේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි වැනි භෞතික දේවල් කියලායි බොහෝ දෙනෙක් හිතන්නෙ. එහෙම හිතලා ඒවායින් වැඩක් නොගෙන, දිර දිරා යද්දී පවා, රැකගෙන ඉන්නවා. මේ වෙද්දී අපි රාජ්‍ය ආයතන හා ව්‍යවසාය 420 ක් නඩත්තු කරනවා. මෙයින් ප්‍රදාන ව්‍යවසායයන් 52 ක වසරක පාඩුව රුපියල් බිලියන 86 ක්. මම තව දින දෙක තුනකින් මේ ආයතන ලැයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයතනවලින් වසර ගණනාවක් තිස්සේ රටට සිදුවෙලා තියෙන්නේ සුගතියක් ද? නැත්නම් අගතියක් ද?
    2.4 ජාතික සම්පත් යැයි සිතාගෙන අපි මේ ආයතන සහ ව්‍යවසායන් ගැන අවධානය යොමු කරද්දී රටේ සැබෑ ජාතික සම්පත් ගැන අපේ අවධානය ගිලිහිලා ගිහින් තියෙනවා. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු දියවෙමින් යනවා. සමහරු රට හැර යනවා.
     
    2.5 මේ තරුණ තරුණියන් යහපත් හෙට දවසක් බලාපොරොත්තු වෙනවා. යහපත් රටක් බලාපොරොත්තු වෙනවා. උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලූත් ප්‍රවේශයක්, අලූත් වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.
    2.6 අද මහජන ගැලරිය දෙස බැලූවාම, තරුණ තරුණියන් සැලකියයුතු ප්‍රමාණයක් පැමිණ සිටින බව පේනවා. ඔවුන් සියළු දෙනා අපේක්ෂා කරන්නේ යහපත් හෙට දවසක්. උසස් සමාජයක්. ක්‍රමවේදයේ වෙනසක්.
    2.7 අප නව ආර්ථිකය නිර්මාණය කරන්නේ මේ තරුණ තරුණියන් වෙනුවෙන්. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්.
     
     
    3.ආර්ථිකයේ නව පදනම
     
    3.1 1977 වසරේ නිර්මාණය කෙරුණු ආර්ථික පදනම දැන් වලංගු නැහැ. එය වර්තමානයට ගැලපෙන්නේ නෑ. විවිධ විකෘතීන්ට ලක් කෙරුණු නිසා එය දැන් කඩා වැටිලා. අපේ රටේ කලක් ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථිකය සේම 1977 නිර්මාණය කළ ආර්ථිකයත් අසාර්ථක වී හමාරයි. ඒ නිසා අප වර්තමානය ගැන අලූතින් සිතිය යුතුයි. සුගතපාල ද සිල්වා ″මරාසාද්″ නාට්‍යයේ දක්වන විදියට;  කොට්ට උරයක් මෙන් කණපිට හරවා, අලූත් ඇහැකින් ලෝකය දෙස බැලිය යුතුයි.
    3.2 වර්තමාන ලෝක ප්‍රවණතා වෙනස්. ලෝක ආර්ථික චින්තනය වෙනස්. ලෝක ආර්ථිකය හැසිරෙන ආකාරය වෙනස්. ඒ නිසා අන්න ඒ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අපි අලූත් ආර්ථික පදනමක් සකස් කරගත යුතුයි.
    3.3 පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කියැවීමට ලැබුණු ලිපි දෙකකින් කොටස් දෙකක් ගෙනහැර දක්වන්නට මා කැමතියි. ගාමිණී වියන්ගොඩ මෙන්න මෙහෙම සඳහන් කරනවා.
    3.4 ”රට ගොඩනැගීමේ දිව ඔසුව තමන් අතේ ඇතැයි, ප්‍රශ්නයේ වලිගයෙන් අල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න. තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යැයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. ඒ කාරණා සියල්ල රටක දියුණුවට අත්‍යවශ්‍ය වෙතත්, වර්තමාන ලංකාව ගොඩ දැමීමේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඊට වඩා සංකීර්ණ සහ දුෂ්කර පරාසයක බව අද නැතත් හෙට හෝ අප වටහාගත යුතුය.”
    3.5 චින්තන ධර්මදාස මෙන්න මෙහෙම සඳහන් කරනවා.
     
    ”මේ හින්දා අපට සිද්ධ වෙනවා නැවත හිතන්න. අරගලය තියෙන්නෙ අපෙන් පිටත නෙවෙයි. ඒක තියෙන්නෙ අපි ඇතුළෙමයි. මේ ආර්ථික අරගලය දිනන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න වෙනවා. අන්ත දුගී භාවයෙන් බැටකන ජනතාව ගොඩනගන්න පුළුවන් අප විසින් නැවත පුබුදන ආර්ථික බලවේගයකින් විතරයි. මේ මොහොතේ සැබෑ ජනතා මෙහෙවර තියෙන්නෙ එතනයි.”
    3.6 ඒ නිසා අපි මේ අර්බුදයේ දුෂ්කර සහ සංකීර්ණ බව අවබෝධ කරගනිමු. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආර්ථිකය පුබුදන බලවේගයක් නිර්මාණය කර ගනිමු.
    3.7 මේ අයවැය මගින් අප උත්සාහ කරන්නේ ඒ බලවේගය නිර්මාණය කරගත හැකි, ශ්‍රී ලාංකේය ආර්ථිකයේ නව පදනම සැකසීමටයි.
    3.8 මෙතැනදී අපේ අවධානය යොමුවන මූලික කරුණු කීපයක් ගෙනහැර දක්වන්නට කැමතියි.
    3.9 මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු රටම දුෂ්කරතාවන් රැසකට මුහුණ දුන්නා. එදා වේල සරිකරගන්න බැරිවුණා. රැකියා අනතුරේ වැටුණා. ආදායම් අහිමිවුණා. ව්‍යාපාර කඩා වැටුණා. තවමත් ඒ සියළු දුෂ්කරතාවන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට පුළුවන් වෙලා නෑ.
    3.10 ජනතාව මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේ රට යළි ගොඩ නැංවිමේ බලාපොරොත්තු හදවතේ රඳවාගෙනයි. අපි සියළු දෙනාම ඒ කැපවීම් කළේ, තවමත් කැපවීම් කරන්නේ රට යළි නංවාලීමේ අරමුණ ඇතිවයි. රට වෙනුවෙන් කැපවීම් කරන සියලූ දෙනාට, අප ගොඩ නංවන නව ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යා යතුයි. සැමට සමාන අවස්ථා නිර්මාණය විය යුතුයි. එය සමාජයේ කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක්‍රමයක් නොව, සමස්ත සමාජයම ඉහළට ඔසවා තබන ආර්ථික ක්‍රමයක්.
    3.11 ශ්‍රී ලංකාව අඩු ආදායම් ආර්ථිකයක්ව පැවති කාලයේ ජනතාව භුක්ති විඳි ජීවන අවශ්‍යතා අවම මට්ටමක පැවතුණා. නමුත් මැදි ආදායම් ආර්ථිකයක් දක්වා ඉහළට පැමිණීමේදී ජීවන රටාවන්ද නිරායාසයෙන්ම ඉහළ ගියා. එසේ සිදුවීම සාමාන්‍ය තත්වයක්. ගෙදරක වුණත් එහෙමයි. ගෙදර ආදායම් මට්ටම ඉහළ යද්දී, ජීවන රටාව ඉහළ යනවා.
    3.12 නව ආර්ථික පදනම සැලසීමේදී සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුයි. මේ ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන අයුරින්, නව ගමන අප ආරම්භ කළ යුතු වෙනවා.
    3.13 විශේෂයෙන්ම ලෝකය සමග තාක්ෂණික පදනමෙන් ගනුදෙනු කරන වර්තමාන තරුණ පරපුර දවසින් දවස තම ජීවන රටාවන් ඉහළ යෑම අපේක්ෂා කරනවා. ඒ නිසා නව ආර්ථික පදනම ඔස්සේ දවසින් දවස ඉහළ නැංවෙන ජීවන රටාවන් උත්තේජනය කරන ජීවන ක්‍රමයක් බිහිකළ යුතු වෙනවා.
    3.14 ඒ නිසා අප නිර්මාණය කළ යුත්තේ වර්තමාන ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් නෙවෙයි. තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට සරිලන මට්ටමට ඒක පුද්ගල ආදායම ඉහළ නංවාගත හැකි ක්‍රමයක්.
    3.15 මේ ක්‍රමය තුළ දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීම පිළිබඳ අප පූර්ණ අවධානය යොමු කරනවා. ඒ වගේම දැනට ලබා දෙන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් සුබසාධන කාර්යයන් ඔස්සේ සමාජයේ සියළු කොටස්වලට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබෙනවාද යන්න පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. ඒ වගේම මේ සේවාවන් වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. මේ සඳහා වැය කරන සම්පත්වලින් උපරිම ඵලදායීත්වයක් ලබා ගත යුතුයි.
    3.16 අප දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව අමතක කළොත් අපට ඉදිරිගමනක් නැහැ. වර්තමාන තත්වය හොදින් අවබෝධ කරගෙනයි, අප ඉදිරි ගමන සකස් කරගත යුත්තේ. ඒ නිසා මේ අර්බුදය මැද අපේ සුබසාධන වැඩ සටහන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා.
    3.17 මීට සමාන්තරව පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. අපේ රටේ පුද්ගලික ව්‍යවසායකයින් 19 වැනි සියවසේ මැද භාගයේ සිට 1950 ගණන්වල මැද භාගය දක්වාම අඛණ්ඩව වර්ධනය වුණා. නමුත් ඔවුන්ගේ ව්‍යාපාර ජනසතු කිරීම නිසා, ලංකාවේ පුද්ගලික ව්‍යවසායකත්වය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටුණා. 1977 විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස යළිත් පුද්ගලික ව්‍යවසායකයන් ඇති වුණත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් නිසි අයුරින් සැපයුණේ නෑ.
    3.18 රටේ බොහෝ දෙනෙක් ව්‍යවසායකයන් දෙස බැලුවේ යහපත් ආකල්පයකින් නෙවෙයි. රටේ ආර්ථිකයට දායකත්වයක් සපයන ව්‍යවසායකයන් දුෂ්ටයන් ලෙස සැලකුණා. ලංකාවේ නිෂ්පාදිත ටෙලි නාට්‍යවලින් වැඩි හරියක ගමේ කඩේ මුදලාලි නිරූපණය කළේ දුෂ්ට චරිතයක් විදියට. ගමේ කුඩා ව්‍යවසායකයාගේ සිට මහා පරිමානයේ ව්‍යවසායකයන් දක්වා හැමෝම සූරාකන්නන් විදියට සලකන මානසිකත්වයක් ගොඩ නැංවී තිබුණා.
    3.19 අපි මේ තත්වය වෙනස් කළ යුතුයි. පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කළ යුතුයි. අලුත් ව්‍යවසායකයන් බිහි කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතුයි. ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කළ යුතුයි.
    3.20 පුද්ගලික අංශයේ ව්‍යවසායකයින් දිරිමත් කරන අතරම, ආර්ථික කටයුතු නියාමනය, යටිතල පහසුකම් සඳහා ආයෝජනය, වෙළඳපොල අසාර්ථකතාවයන් නිවැරදි කිරීම සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා.
    3.21 මේ සියල්ල පසුබිම් කරගෙන අප ගෙඩගන්නට යන නව ආර්ථිකය සමාජ වෙළදපොල ආර්ථිකයක්, එහෙමත් නැත්නම් “සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්” ලෙස අර්ථ දක්වන්නට මම කැමතියි.
     
    3.22 මේ නව ආර්ථිකයේදී අප ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව අවධානය යොමු කරනවා.
     
    1. අපනයනය මූලික කරගත් තරඟකාරී ආර්ථිකයක්.
    2. පරිසර හිතකාමී හරිත හා නීල ආර්ථිකයක්
    3. ඩිජිටල් ආර්ථිකයක්
     
    3.23 මෙවැනි නව ආර්ථික පදනමක් නිර්මාණය කරලීම අභියෝගාත්මක කාර්යයක්. බදු ක්‍රමයේ වෙනස්කම් කළ පමණින් එවැනි නව ආර්ථිකයක් නිර්මාණය කරගන්නට බැහැ. අලූත් ආදායම් මාර්ග සොයා ගත යුතුයි. අලූත් ක්ෂේත්‍රයන් හඳුනාගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධාන සිදුකළ යුතුයි.
    3.24 අප මෙතැනදී සුවිශේෂී කරුණු දෙකක් පදනම් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
    3.25 පළමුවැන්න - ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධාන. දෙවැන්න - ආර්ථික නවීකරණය.
    3.26 සීග්‍ර ආර්ථික වර්ධනයක් අප අත්පත් කරගත යුතුයි. රටේ සමස්ත විභවතාවය විවෘත කරගත යුතුයි. මෙහිදී රටේ සම්පත් පදනම පිළිබදව යළි විමසා බැලීම මෙන්ම, ඒවායේ ප්‍රතිසංවිධානයද වැදගත් වෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ සමුද්‍රික සම්පත්, කර්මාන්ත, වෙළද හා ආයෝජන, ජාතික ආරක්ෂාව, විදේශ සබදතා ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතු වෙනවා.  අප මේ සමාජ - ආර්ථික පරිවර්තනය සිදු කළ යුත්තේ ගෝලීය සංසිද්ධීන්ද සැලකිල්ලට ගනිමින්. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන් ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.
    3.27 ආර්ථික පරිවර්තනය සදහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
    3.28 මෙහිදී රටේ ආර්ථික කළමනාකරණයට මෙන්ම කාර්මික හා සමාජ සම්බන්ධතා පද්ධතියට එක්ව සිටින විවිධ පාර්ශවයන් අතර පොදු සමාජ සම්මුතියක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, වෘත්තීය කණ්ඩායම්, ජන මාධ්‍ය, ආගමික කණ්ඩායම් සහ විවිධ සමාජයීය සංවිධාන මේ සඳහා සම්බන්ධ කරගත යුතු වෙනවා. දිගු කාලීන සමාජ සංහිඳියාව පවත්වා ගැනීමටත්, සීග්‍ර ආර්ථික වර්ධනයක් වෙත හැලහැප්පීම්වලින් තොරව ගමන් කිරීමටත් මේ පොදු එකඟතාවය අතිශය වැදගත් වෙනවා.
    3.29 අප නිර්මාණය කරන, සමාජ වෙළදපොල ආර්ථිකය, නැත්නම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකය ඔස්සේ  මෙන්න මේ ඉලක්ක මුලින්ම සපුරා ගැනීමට අප අපේක්ෂා කරනවා.
     
     
    ■ සියයට 7 ක 8 තරම් ඉහළ ආර්ථික වර්ධනයක්.
    ■ ජාත්‍යන්තර වෙළඳාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට සියයකට වඩා ඉහළ නංවා ගැනීම
    ■ 2023 සිට 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3 ක වාර්ෂික වර්ධනයක්
    ■ ඊළඟ වසර 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 3 කට වඩා ඍජු විදේශ ආයෝජන
     
     
    ■ ඉහළ කුසලතාවන්ගෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ඉදිරි දසවසර තුළදී නිර්මාණය කරගැනීම
     
    3.30 මෙන්න මේ ඉලක්ක සපුරාගැනීම උදෙසා අප තරඟකාරී මෙන්ම ඉහළ කාර්ය සාධනයක් ඇති නවීන ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි.  පුද්ගලික අංශයට නායකත්වය හිමිවන, අපනයනයට නැඹුරු වුණු, තරඟකාරී නවීන ආර්ථිකයක්. ඒ සදහා වූ අපේ ගමන මේ අයවැයත් සමග 2023 වසරේ අපි ආරම්භ කරනවා. නිදහසින් වසර 100 පිරෙන 2048 වසර වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරලීමේ අලූත් ප්‍රවේශයට හා අලූත් වැඩපිළිවෙලට පසුබිම මේ අයවැය යෝජනා මගින් සකස් කෙරෙනවා.
    3.31 හැබැයි මේ අයවැය යෝජනා සාම්ප්‍රදායික අයවැය යෝජනාවලින් වෙනස්. අප බොහෝ විට පුරුදුව සිටින්නේ අයවැය යෝජනා මගින් බඩු මිල අඩු කිරීම්, පඩි වැඩිකිරීම්, සහන, ආදිය ලබා ගැනීමටයි. ලෝකයට ණය වෙමින් හෝ මතුපිටට සහනයක් සේ පෙනෙන අයවැය යෝජනා ඉදිරිපත් කරනවා නම් අපි කැමතියි. ඒ ජනප්‍රිය තීන්දු ගැනීම නිසා අපිට මග වැරදුණා. දැන් අපට තව දුරටත් වැරදි පාරවල ගොස් මං මුළා වෙන්නට බැහැ.
    3.32 මේ අයවැයෙන් අප කරන්නේ ලෝකයට ණය වෙමින්, මගුල් කන තාලයේ වැඩක් නෙවෙයි. මේ අයවැයෙන් අප කරන්නේ අපේම ශක්තියෙන් අපට නැගී සිටින්නට පුළුවන් පදනමක් සකස් කිරීම. නව ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍රවේශයක් විවිර කර ගැනීම.
    3.33 මේ අයවැය මගින් අප නිර්මාණය කරගන්නා පදනම ඔස්සේ අනාගතය ගොඩ නංවා ගත්තොත්, 2023 අවසාන වෙද්දී අපට සැනසිලිදායක ආර්ථික පරිසරයක් භුක්ති විඳීමේ හැකියාව ලැබෙනවා. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ රටටම ගලා යනවා.
    3.34 මෙතැනදී තවත් කරුණක් අවධාරණය කරන්නට මම කැමතියි. අප ගෙන එන ආර්ථික පුතිසංස්කරණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකගත්වයකට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වෙන්නේ නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සීමා වෙන්නේ ආර්ථික ස්ථායිකරණය සඳහා පමණයි.
    3.35 අප මේ ප්‍රතිස්කරණ හා ප්‍රතිසංවිධාන සිදු කරන්නේ නව ආර්ථිකයක් ගොඩ නැංවීම සදහායි. එය රටේ අවශ්‍යතාවයක්. දීර්ඝ කාලයක් තිස්සේ රටට අවශ්‍යව තිබූ දෙයක්.
    3.36 බොහෝ ආණ්ඩු ජනප්‍රියතාව ගැන සිතමින් ඉටු නොකළ කාර්යභාරයක්. අප ඒ කාර්යභාරය රට වෙනුවෙන් ඉටු කරනවා.
    3.37 එසේනම්, 2023 අයවැය යෝජනා මෙතැන් සිට ඉදිරිපත් කරන්නට මම කැමතියි.
     
     
    4. සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව
     
     
     
    අ. 2021 වසර අවසානය වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 ක්ව තිබූ රාජ්‍ය ආදායම, 2025 වසරේ දී ආසන්න වශයෙන් සියයට 15 දක්වා වැඩි කිරීමට අපගේ රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙනවා.
    ආ. රජය 2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 කට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් අත්පත් කර ගැනීමට ඉලක්ක කරනවා. ඉන් පසුව මෙම මට්ටම තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනවා.
    ඇ. 2021 වසර අවසානය වන විට ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 110 ක් ව තිබූ රාජ්‍ය අංශයේ ණය, මැදි කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ට වඩා පහළ මට්ටමකට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.
    ඈ. මැදි කාලීනව උද්ධමනය පාලනය කළ හැකි තනි ඉලක්කමක මැදි අගයක් (පසා-ිසබටකැ ාසටසඑ) දක්වා නැවත ගෙන ඒමට අපේක්ෂා කරනවා.
    ඉ. මේ සමඟම පොළී අනුපාතික ද ක්‍රමානුකූලව මධ්‍යස්ථ අගයකට ළගා වනු ඇතැයි අප හිතනවා.
    ඊ. සාර්ව ආර්ථීක විශ්වාසය යළි ස්ථාපිත වූ පසු සහ විදේශ මුදල් ප්‍රවාහ හරහා විදේශ විනිමය සංචිත නැවත වැඩි කර ගැනීමෙන් පසු, විනිමය අනුපාතය මත වන අහිතකර පීඩනය ද අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා.
    උ. ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීම සමඟ, මැදි කාලීනව ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව තවදුරටත් ඉහළ මට්ටමකට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.
     
     
    වෙළඳ හා ආයෝජනය
     
     
    5. විදේශ වෙළඳාම හා ආයෝජනය සම්බන්ධ නියෝජිතායතනය
     
    5.1 රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බැවින්, විදේශ විනිමය ගලා ඒම් සමාලෝචනය කළ යුතුය. විදේශ වෙළදාම සහ ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවල පවතින සම්බන්ධීකරණ ගැටලු, රටේ අපනයනවල කාර්යසාධනය කෙරෙහි බලපාන බව කලක් තිස්සේ නිරීක්ෂණය කර ඇත. මීට අමතරව, වර්තමානයේ දී ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය ආයතන මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතියි. එබැවින්, ආයෝජන හා විදේශ වෙළදාම ප්‍රවර්ධනය කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට තනි ආයතනයක් පිහිටුවීම වැදගත් වනවා. ඒ අනුව, නව නීතියක් ද සම්පාදනය කිරීම සමඟ, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ජාතික ව්‍යසායකත්ව සංවර්ධන අධිකාරිය ආදී ආයතන සියල්ල වෙනුවට නව ආයතනයක් පිහිටුවනු ඇත.  මේ සඳහා, රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
     
    6. නව ආර්ථික කලාප
     
    6.1 විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාපයන් ඇති කිරීමට මම යෝජනා කරනවා. ඒ අනුව, ආයෝජනවලට හිතකර ලෙස අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගනු ලබනවා. දැනට විවිධ රාජ්‍ය ආයතන යටතේ ක්‍රියාත්මක වන ආයෝජන හා කර්මාන්ත කලාපයන් ද මෙම නව ආර්ථික කලාප වැඩසටහන යටතට පැමිණෙනු ඇති අතර, ඒ සඳහා නව නීතියක් කඩිනමින් බලාත්මක කරනවා. මීට අමතරව, බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ දැනට පවතින ක්‍රමවේදය සඳහා විකල්ප යාන්ත්‍රණ ද විමසා බැලිය යුතුය. මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.
     
     
    7. ජාතික ඵලාදායීතා කොමිෂන් සභාවක්
     
    7.1 ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත මත පදනම්ව විමර්ශනය / අධ්‍යයනය  කර කර්මාන්ත සඳහා ලබා දිය යුතු වෙළඳ ගැලපීම් නිර්දේශ කිරීම, කර්මාන්ත, වාණිජ හා වෙළඳ ක්ෂේත්‍රයන්ට අදාළ  ක්ෂුද්‍ර ආර්ථික (ඵසජරද ෑජදබදපසජ)  ප්‍රතිපත්ති පිළිබඳව රජයට උපදෙස් දීම, සමාජ හා පාරිසරික ගැටළු පිළිබඳව දැනට ඇති රෙගුලාසි  අධ්‍යයනය කර සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳව නිර්දේශ ලබා දීම, ආර්ථික අස්ථායිතාව සහ නව තාක්ෂණයන්ට අනුගතවීමට ඇති අපහසුතාව හේතුවෙන් වැසී යන කර්මාන්තවල සේවය කරන ලද සේවකයන් සඳහා නව රැකියා අවස්ථාවන් ලබා ගැනීමට හැකිවන පරිදි ඔවුන් පුහුණු කර ඒ සඳහා යොමු කිරීම, එසේ නොවන අවස්ථාවල රැකියා අහිමි වන සේවකයන් සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් යෝජනා කිරීම යන කරුණු පිළිබදව කටයුතු කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස ජාතික ඵලාදායීතා කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කරනවා. මෙහිදී දැනට ක්‍රියාත්මක වන ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ද යෝජිත කොමිෂන් සභාව යටතට පත් කරනු ලබනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
     
     
    8. ගෝලීය වෙළෙඳපොළවල් ප්‍රවේශය වැඩි දියුණු කිරීම
     
    8.1 ශ්‍රී ලංකාව දේශීය සැපයුම් ධාරිතාව වර්ධනය කරන අතරම, වෙළෙඳපොල ප්‍රවේශය පුළුල් කිරීම අත්‍යවශ්‍ය වනවා. වර්තමානයේ දී ගෝලීය වෙළඳාම මෙහෙයවනු ලබන්නේ ආසියාන් (්ීෑ්භ ) වැනි කලාපීය සහ ගෝලීය නිෂ්පාදන ජාලයන් මඟින් වන අතර, ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙම ජාලයන් සමඟ මේ වන තෙක් සම්බන්ධ වී නොමැත. එබැවින්, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මඟින් අවධානය යොමු කරනුයේ, නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය තුළින් ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟ කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉහළ නැංවීම පිළිබඳවයි.
    8.2  මේ අරමුණින්, ඉන්දියාව සහ චීනය වැනි ප්‍රධාන වෙළෙඳපොළවල් සමඟ සම්බන්ධ වීමේ උත්සාහයන් ශ්‍රී ලංකාව යළි ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, තායිලන්තය සමඟ ශ්‍රී ලංකාව සිය  වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇති අතර, සිංගප්පූරුව සමඟ එළඹ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම සමඟ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය (ඍැටසදබ්ක ක්‍දපචරුයැබිසඩැ ෑජදබදපසජ ඡ්රඑබැරියසච) වැනි ඉතා වැදගත් කලාපීය වෙළෙඳ සබඳතාවයන් ඇති කරගැනීමට මූලික පියවර තබනු ඇත.
    8.3  සියළුම ජාත්‍යන්තර වෙළෙඳ  සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට ද යෝජනා කරනවා. මෙය මුල් අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන අතර, පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඒකාබද්ධ කෙරෙනු ඇත. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ලෙසින් නම් කරනු ඇත.
     
     
    9. සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
     
    9.1 සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම්වල කාර්යසාධනය අපනයනකරුවන්, ආනයනකරුවන් සහ ආයෝජකයින් සඳහා පවතින තවත් බාධකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ සැපයුම් සේවාවන්හි කාර්යසාධනය, ලෝකයේ පළමු රටවල් 70 අතර පවතින පරිදි වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින්, 2023 සිට 2027 කාලය සඳහා තුන් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් (ඛදටසිඑසජි ෘැඩැකදචපැබඑ ඡරදටර්පපැ) හඳුන්වා දීමට යෝජනා කරනවා.
     
    10. ආයෝජන හිතකර පරිසරයක්
     
     
    10.1 ව්‍යාපාරවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දැනට ඇති ක්‍රමවේද සරල හා කාර්යක්ෂම කිරීම අවශ්‍ය වනවා. ඒ අනුව, යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වන පරිදි, පිරිවැය, ක්‍රියාපටිපාටි හා කාලය අවම කිරීමට සහ විනිවිදභාවය ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වනවා. එබැවින්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
     
    11. නව කම්කරු ප්‍රතිපත්ති
     
    11.1 ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් කාර්යක්ෂම ලෙස සිදු කිරීමට හැකි වන පරිදි සේවක සේව්‍ය දෙපාර්ශවයම ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිසංස්කරණ කම්කරු ක්ෂේත්‍රය කලකින් සිදු වී නොමැත. තරඟකාරී අපනයනාභිමුඛ ආර්ථිකයක් තුළ, සේවක සේව්‍ය දෙපාර්ශවයම රටේ ප්‍රගතිය නංවාලීම වෙනුවෙන් ඵලදායී ලෙස සහභාගී විය යුතුය. ව්‍යසායකත්ව හැකියා හා ව්‍යාපාර සංවර්ධනයට බාධාවන ආකාරයට කම්කරු නීති, ප්‍රතිපත්ති සහ ආයතනික වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවිය යුතුය. සමස්ත පරිසරයම, පුද්ගලයෙකුගේ කුසලතාවයන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයට සකස් විය යුතු අතර ව්‍යවසායකයින් විසින් අවදානම් දැරීම ද නිසිආකාරයෙන් ඇගයීමට ලක් විය යුතුය. මෙරට කම්කරු නීති යල් පැන ගිය හා එකිනෙක අතර සබඳතාවක් නොමැති ඒවා වන බැවින්, ආර්ථිකයට සහ සේව්‍ය සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි නව, යාවත්කාලීන කළ සහ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට මම යෝජනා කරනවා.
     
     
    12. කෘෂි අපනයන සදහා ඉඩම්
     
    12.1 නීති ගැටළු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය වැනි විවිධ හේතු නිසා ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් කාලයක් තිස්සේ වගා කිරීමෙන් හෝ ඵලදායීව ප්‍රයෝජනයට ගැනීමකින් තොරව පවතී. ආර්ථිකයේ ප්‍රගතිය වෙනුවෙන් එම ඉඩම් ඵලදායක ලෙස උපයෝගී කර ගැනීමේ හැකියාවන් පවතී. ඒ අනුව, නිෂ්පාදනය සහ අපනයන ඉහළ නංවාලමින් එම ඉඩම් ඵලදායී ලෙස උපයෝජනය කිරීමට ආයෝජකයන්ට ඉඩ ප්‍රස්ථා විවෘත කිරීම සඳහා වැඩසටහනක් සකස් කෙරේ. එබැවින්, භාවිතා නොකරන/ඵලදායී ලෙස යොදා නොගන්නා විශාල ඉඩම් කට්ටි දිගු කාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට ලබා දීමට අපේක්ෂා කෙරේ. තවද, යෝජිත කෘෂිකාර්මික ඉඩම් බදු දීමේ වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා නව නීතියක් මෙම සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
     
     
    13.රජයේ ඉඩම් බැහැර කිරීම
     
    13.1 රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් / උප දිසාපතිවරුන් මඟින් දිස්ත්‍රික් ලේකම්වරයා / දිසාපති විසින් ඉටු කරනු ලැබූව ද,  පසුව විශේෂිත අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ද එම කාර්යයන් පවරන ලදී. එක් එක් ආයතන විසින් ඉඩම් පැවරීමට අදාළ මූලික කටයුතු විවිධ ආකාරයෙන් සිදු කිරීම හේතුවෙන් විෂමතාවයන් හා අක්‍රමිකතාවයන් සිදුවන බව වාර්තා වී ඇත. එබැවින්, ඉහත කී විශේෂිත අවශ්‍යතා මේ වන විට ළඟා කරගෙන ඇති බැවින් එම ආයතන දෙක මඟින් සිදු කරන රජයේ ඉඩම් බැහැර කිරීම ද ඇතුළත්ව රජයේ සියලු ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් පමණක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරි වසර තුළ සකස් කරනු ලබනවා.
     
     
    14.ඩිජිටල් තාක්ෂණය
     
    14.1 විවිධ ආර්ථික කටයුතු හා සේවා සපයන ක්‍රමවේදවලදී ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මෙරට විසින් හඳුනා ගෙන ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඛණිජ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් ූඍ කේත ක්‍රමය හඳුන්වා දීම සමඟ ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ ඉතා මෑතක දී දැකගන්නට ලැබුණි. එබැවින්, ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, නීති, ආයතනික සහයෝගීතාව හා පහසුකම් ආදිය ද ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි දියුණුව පිළිබඳව විමර්ශනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට මම යෝජනා කරනවා.
     
    15. ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම
     
    15.1 ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයට දායක කර ගැනීම ඉතා අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනවා. එබැවින්, හඳුනාගත් ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගත හැකි ආකාරය පිළිබඳව සුදුසු ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ස`ඳහා වන ජාතික ආයතනය (භ්ඡඡඡ) හා ඒ හා සම්බන්ධිත ආයතන ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා. එම කමිටු  වාර්තාව මාස තුනක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වනවා.
     
     
    16. කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක්
     
    16.1 කුරුඳු නිෂ්පාදන අපනයනය සම්ප්‍රදායිකව ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් එම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදන ගෝලීයව සුවිශේෂී අනන්‍යතාවයක්  ගොඩනඟාගෙන ඇති බැවින්, කුරුඳු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන අපනයනය තවදුරටත් දිරි ගැන්විය යුතුය. එබැවින්, කුරුඳු කර්මාන්තය සංවර්ධනය කිරීම සදහා වූ වෙනමම දෙපාර්තමේන්තුවක් කුරුඳු වගාව වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටුවීමට යෝජනා කරනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
     
    17. ව්‍යෘපෘති/වැඩසටහන් ඇගයීම සඳහා නව ක්‍රමවේදයක්
     
    17.1 නිසි පරිදි හඳුනාගැනීමේ සහ ක්‍රමවත්ව ඇගයීමට ලක් කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය තුළ බොහෝ ව්‍යාපෘති/ වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගෙන නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි  ව්‍යාපෘති/ වැඩසටහන් සඳහා ලබා ගත් ණය පියවීම සඳහා වෙනත් මූලාශ්‍රයන්ගෙන් රැස් කරන ලබන බදු ආදායම යොදා ගැනීමට රජයට සිදු වෙනවා. ඒ හේතුවෙන්, රජය විසින් දැන් මුහුණ දෙනු ලබන ණය කළමනාකරණ ගැටළු ඇති කරමින්, මෙය ආර්ථිකයට දරාගත නොහැකි මට්ටමකට ළඟාවී ඇත.
    17.2 ඒ අනුව, රේඛීය ආයතනය/අමාත්‍යාංශය විසින් මූල්‍ය, ආර්ථික හා තාක්ෂණික අංශ ඇතුළත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව. ඉදිරියේ දී සැළකිල්ලට ගත යුතු නව ව්‍යාපෘති/වැඩසටහන් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අදාළ ව්‍යාපෘති/වැඩසටහන් අධ්‍යයනය කිරීමෙන් පසුව, නිර්දේශ ද සහිතව ජාතික සංවර්ධන කමිටුව (භ්එසදබ්ක ෘැඩැකදචපැබඑ ක්‍දපපසඑඑැැ)  වෙත  ඉදිරිපත් කළ යුතුය. රජයට නිර්දේශ කිරීමට ප්‍රථම, ප්‍රතිපත්ති අඛණ්ඩතාවය, ශක්‍යතාවය, අන්තර් ආංශික අනුකූලතාවය, ප්‍රමුඛතා ආදිය තහවුරු කිරීම සඳහා එම කමිටුව විසින් ව්‍යාපෘති/වැඩසටහන් නැවත අධ්‍යයනය කළ යුතුය. රාජ්‍ය හා පෞද්ගලික අංශවල අදාළ විශේෂඥ දැනුම සහිත සාමාජිකයන්ගෙන් ජාතික සංවර්ධන කමිටුවේ සංයුතිය සමන්විත වේ.
     
     
    සංචාරක කර්මාන්තය
    18. සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම
    18.1 විවිධ ක්‍රම ඔස්සේ සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා බොහෝ රටවල නව වැඩසටහන් හදුන්වා දී තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසි සහගත බව සැළකිල්ලට ගනිමින්, සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ගනු ලැබූ  ප්‍රවේශයන් හි අඩුවක් දක්නට ඇත. එබැවින්, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත්වල සමුද්‍රීය කලාප තුනක් හඳුනාගෙන, එම ප්‍රදේශවල අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරනු ඇත. ඒ අනුව, නොගැඹුරු මුහුදේ සංචාරකයන්ට මුහුදු ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැළීම සඳහා ආරක්ෂිත සීමාවන් හඳුනා ගැනීම හා සංවර්ධනය කිරීම, සැහැල්ලු කුඩා රුවල් යාත්‍රා නවතා තැබීම සඳහා නැංගුරම් තොටුපොළවල්, කිමිදුම් කිරීම හා ආශ්‍රිත වෙනත් ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම්, සහ ආහාර පාන ලබා ගත හැකි ස්ථාන ඇතුළුව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ සඳහා අවශ්‍ය වේ. මෙම කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සංචාරක සංවර්ධන අරමුදලින් සැපයිය යුතුය. මෙම කටයුතු ආරම්භ කිරීම සඳහා, 2023 අයවැය මඟින් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
    18.2 ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සඳහා ජලය මත ලිස්සා යාම :අ්එැර ර්ඓසබට* වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මා යෝජනා කරනවා.
     
     
    සාමාන්‍ය අධ්‍යාපනය
     
    19. පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම
    19.1 නවීන තාක්ෂණය සමඟ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රගමනය සඳහා පාසල් පද්ධතියට අන්තර්ජාල පහසුකම් ලබාදීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, එහි පළමු පියවර ලෙස, අන්තර්ජාල පහසුකම් සපයන ආයතන සහ අනෙකුත් පෞද්ගලික ආයතනවල ආයතනික සමාජ වගකීම යන සංකල්පය සමඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දායකත්වයද සහිතව  දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1,000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.
    20. ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම
    20.1 ඇතැම් ග්‍රාමීය පාසල්වල පවතින සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව අපට දැනගන්නට ලැබී ඇත. ඒ අනුව, පළාත් පාසල් 139 ක සහ ජාතික පාසල් 23ක මෙන්ම අවම පහසුකම් සහිත ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, විශේෂයෙන්ම නිසි ජල පහසුකම් සහිත වැසිකිලි ඉදිකිරීමට හෝ දැනට පවතින වැසිකිලි සඳහා ජල පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.
     
     
     
     
    උසස් අධ්‍යාපනය
     
    21. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත ඇතුළත් කර ගැනීම් වැඩි කිරීම
    21.1 රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී දැනට කලා විෂය ධාරාවේ සියලු සිසුන් පමණක් දීප ව්‍යාප්ත කුසලතා පදනම මත තෝරා ගැනීම සිදු කරනු ලබනවා. එහෙත්, වාණිජ, තාක්ෂණවේදය, විද්‍යා හා ගණිත විෂය ධාරාවන් සඳහා ඇතුලත් කර ගැනීමේ දී දීප ව්‍යාප්ත කුසලතා පදනමින් බඳවා ගනු ලබන්නේ සිසුන්ගෙන් සියයට 40 ක ප්‍රමාණයකි. මෙම තත්ත්වය තුළ ඉහළ කුසලතාවයන් දක්වන සිසුන් විශාල ප්‍රමාණයකට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට ඇති අවස්ථාව අහිමි වනවා. තවද, ඔවුන් දැඩි අපහසුතාවයකට හා අසාධාරණයකට ලක්වන අතරම රටෙහි  සංවර්ධනය සඳහා දායකත්වය ලබා දීමට ඇති අවස්ථාව ඔවුන්ට අහිමි වනවා. එබැවින්, එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර හඳුන්වා දිය යුතු වනවා. ඒ අනුව 2023/2024 අධ්‍යයන වර්ෂයේ සිට පියවරෙන් පියවර ක්‍රියාත්මක වන පරිදි දැනට දීප ව්‍යාප්ත කුසලතා පදනමින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගනු ලබන ප්‍රතිශතය සියයට 40 සිට සියයට 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කරනවා. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුලත් කර ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
     
     
    22. වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා.
     
    22.1 දැනට කොළඹ විශ්වවිද්‍යාලයට පමණක් සීමාවී ඇති වෛද්‍යවරුන් සඳහා වන පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වැඩි වෛද්‍යවරුන් ප්‍රමාණයකට අවස්ථාව සැලසෙන පරිදි පුළුල් කළ යුතුයි. ඒ අනුව, පේරාදෙණිය, රුහුණ හා යාපනය යන විශ්වවිද්‍යාලයන්හි ද වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන්  හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ සදහා වන නීතිමය විධිවිධාන හා ක්‍රියාපටිපාටි සකස් කිරීමට එම විශ්වවිද්‍යාල කටයුතු කළ යුතුයි. ඒ අනුව, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 60 ක් වෙන් කරනවා. වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධිය දේශීය වශයෙන් හැදෑරීමට හැකිවන පරිදි ඒ සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මම යෝජනා කරනවා.
     
     
     
     
     
    23. විශ්වවිද්‍යාලවල උපාධි සඳහා තත්ත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් 
     
    23.1 විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳව තහවුරු කිරීමට තත්ත්ව සහතික සහ ප්‍රතීතන මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ යටතේ, සියලු උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහතික කිරීම අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව, අවශ්‍ය නීති ප්‍රතිපාදන සමඟ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම උසස් අධ්‍යාපන විෂය අයත් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය විසින් ක්‍රියා කළ යුතුය. ඒ සඳහා, රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
     
     
    24.උසස් පෙළ සමතුන්ට සහ උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව
     
    24.1  ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 75 ක් ගතවීම සනිටුහන් කරමින් 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 75 දෙනෙකු සඳහා ඔවුන් විසින් තෝරාගනු ලබන විෂය ක්ෂේත්‍ර පදනම්ව විදේශ විශ්වවිද්‍යාලයන්හි උපාධි හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 75 ක් ලබා දීමට මම යෝජනා කරනවා. ඒ අනුව, අදාළ විදේශ විශ්වවිද්‍යාල තෝරා ගැනීම, ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම, සිසුන් තෝරා ගැනීම, තෝරගත් සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කරුණු පිළිබඳව සැළකිල්ල යොමු කරමින් සුදුසු වැඩසටහනක් සකස් කළ යුතුය. මේ සඳහා අවශ්‍ය අරමුදල් ජනාධිපති අරමුදලින් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
    24.2  මෙයට අමතරව, තෝරාගත් උපාධි පාඨමාලාවලින් විශිෂ්ඨ ලෙස උපාධිය සමත්වන රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් 75 දෙනෙකු සඳහා පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමට යෝජනා කරනවා. මේ සදහා අවශ්‍ය මූල්‍ය සහාය පෞද්ගලික අංශයෙන් සහ විදේශ ආධාර ආයතතවලින් ලබා ගැනීමට කටයුතු කරනවා. මෙම වැඩසටහන යටතේ තෝරාගන්නා තරුණ තරුණියන් පශ්චාත් උපාධිය අවසන් කිරීමෙන් පසුව රටේ සංවර්ධනය සඳහා දායක විය යුතු වනවා.
     
     
    25. නව වෛද්‍ය පීඨයක්
     
    25.1 දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 11 ක වෛද්‍ය පීඨ පවත්වාගෙන යන අතර එම පීඨ සදහා 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය සිසුන් 2001 දෙනෙකු ඇතුළත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යටතේ ද වෛද්‍ය පීඨයක් අලුතින් ආරම්භ කිරීමට මම යෝජනා කරනවා. මෙම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
     
    26. ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම සඳහාම වෙන් වූ ආයතනයක්
     
    26.1  ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හැදෑරීම ට සහ පර්යේෂණ කිරීමට පහසුකම් සැලසීම සඳහා වන ආයතනයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ අනුව, මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනවා.
     
     
    ප්‍රතිසංස්කරණ
     
    27. රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ
    27.1  වර්තමානය වන විට විවිධ රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයන් දාහතර ලක්ෂ පනස් දහසක් (1,450,000) කට ආසන්න පිරිසක් සේවය කරනවා. එමනිසා, රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ඔවුන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වනවා. එබැවින් සංවර්ධන කාර්යයන් ඇතුළු අනෙකුත් පොදු කාර්යයන් වෙනුවෙන් සම්පත් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා, වත්මන් අවශ්‍යතාවයට අනුකූලව රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට මම යෝජනා කරනවා.
     
    28. බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්
     
    28.1  අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ බදු මඟින් ලැබෙන රාජ්‍ය ආදායම ඉතා අඩු අගයක් ගන්නා බැවින් සෞඛ්‍ය, අධ්‍යාපන හා අනෙකුත් වැදගත් ක්ෂේත්‍ර වෙත සම්පත් වෙන් කිරීම දුෂ්කර වී ඇත. ඒ අනුව, ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කර ගැනීම සදහා පියවර ගත යුතුව ඇත. ඒ අනුව, බදු ව්‍යුහය, ආයතන, ක්‍රමවේදයන් යනාදියෙහි ක්‍රියාකාරීත්වය, සම්බන්ධීකරණය සහ බදු සිදුකළ යුතු වෙනස්කම් පිළිබදව අධ්‍යයනය කර නිර්දේශ ලබා දීම සඳහා බදුකරණය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට මම යෝජනා කරනවා. මෙම කොමිෂන් සභාව රාජ්‍ය ආදායම් කළමනාකරණය කිරීම සඳහා මධ්‍යගත ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද අධ්‍යයනය කරනු ඇත.
     
    29. විද්‍යුත් :ෑකැජඑරදබසජ) ක්‍රමවේදය මඟින් ගෙවීම් කිරීම ප්‍රවර්ධනය
     
    29.1 අදාළ ප්‍රතිලාභීන් වෙත මුදල් ප්‍රදානයන් ලබා දීම මෙන්ම මහජනතාව විවිධ රාජ්‍ය ආයතන මඟින් සේවා ලබා ගැනීමේ දී කරන ගෙවීම් ද ඇතුළුව සියලුම රජයේ ගෙවීම් විද්්‍යුත් (මාර්ගගත) ක්‍රමවේදය යටතේ සිදු කිරීම 2024 වසරේ මාර්තු 01 දින සිට අනිවාර්ය කිරීමට මම යෝජනා කරනවා. ඒ අනුව, සියලු රාජ්‍ය ආයතන විසින් මාර්ගගත ක්‍රමයට එම සේවාවන් ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක් සකස් කර ගැනීමටත්, අවශ්‍ය නීති රෙගුලාසි හඳුන්වා දීමටත් ක්‍රියා කළ යුතුය. මේ සඳහා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල දැනට සේවය කරන තොරතුරු තාක්ෂණ සේවයේ නිලධාරීන් අවශ්‍ය සහාය ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
     
    30. දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම
     
    30.1 අප විසින් ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කරන විට, ඩිජිටල්කරණයේ අහිතකර බලපෑමෙන් අපගේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින අතර 2023 වසරේදී දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නවා. පෞද්ගලික දත්තවල නිසි පාලනය තහවුරු කිරීම වෙනුවෙන් නව නියාමන අධිකාරිය ස්වාධීන වනු ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ අදාළ ආංශික නියාමකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනවා ඇති.
     
     
    31. පෞද්ගලික අංශයේ සේවකයන්ට රක්ෂණ ආවරණයක්
     
    31.1 පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරතවී විවිධ හේතූන් මත රැකියා අහිමි වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවන නැඹුරුවක් දක්නට ලැබේ. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙය ඉතා සංකීර්ණ සමාජ ගැටලුවකට යොමු වී ඇති බැවින් රැකියාව අහිමි වී නැවත රැකියාවකට යොමුවන තෙක්වූ කාලය සඳහා උපරිම වශයෙන් මාස තුනකට සීමා වන පරිදි මාසික දීමනාවක් ලබා දීමට හැකි වන ආකාරයට රක්ෂණ ආවරණයක් ලබා දීමට හා ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා.
    31.2 එමෙන්ම, රජයේ සේවකයන් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය තුළින් විශාල පිරිසකට සහනයක් සැලසෙන අතර, පෞද්ගලික අංශයේ සේවකයන් හටද  මෙවැනි සෞඛ්‍ය රක්ෂණයක්  ලබා දීමට යෝජනා කරනවා.
    31.3 පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සේවා යෝජකයන් වෙනුවෙන් සේවක භාරකාර අරමුදල වෙත දායකත්වයක් ලබා දේ. එබැවින්, සේවක භාරකාර අරමුදලෙන් යම් සහනයක් සැලසීම යුතුකමක් හා වගකීමක් වනු ඇත. ඒ අනුව, සේවක භාරකාර අරමුදලින් යෝජිත සෞඛ්‍ය හා රක්ෂණ ආවරණය සඳහා කිසියම් මුදලක් වෙන් කිරීම යෝග්‍ය වනු ඇත.
    31.4 ඒ අනුව, සේවක භාරකාර අරමුදල යටතේ මෙම නව ක්‍රම දෙක ද ඇතුළත් වන පරිදි  සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කළ යුතුය.
     
     
    ආහාර සුරක්ෂිතතාවය
     
    32. ආහාර සුරක්ෂිතතාවය පිළිබදව මාර්ගගත විද්‍යුත් පද්ධතියක්
    32.1 ආහාර සුරක්ෂිතතාවයට අදාළ  කටයුතු සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා  යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. ඒ අනුව,  ගෘහ ඒකකවලට අදාළ සියලුම කෘෂිකාර්මික හා පශු සම්පත් නිෂ්පාදන පිළිබඳව තොරතුරු මාර්ගගත ක්‍රියාවලියක් තුළින් ලබාගෙන ඒ අනුව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන සැලසුම් කළ යුතුය. මෙම වැඩසටහන ජාතික ආහාර සුරක්ෂිතතා  හා පෝෂණය පිළිබඳව ඒකකය මඟින් ක්‍රියාත්මක කළ යුතුය.
     
    33. මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම
     
    33.1 මහජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා වැඩි වශයෙන් මත්ස්‍ය නිෂ්පාදන ලබා ගැනීමට ඇති අවස්ථාව පුළුල් කළ යුතුයි. ඒ අනුව, අභ්‍යන්තර ජලාශවල සිදු කරන මිරිදිය ධීවර කර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා දැනට ඇති මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
     
    රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම
     
    34. බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග
     
    34.1 අද අපි මුහුණ දෙන බොහොමයක් අභියෝග වලට හේතුව රජයේ ආදායම අඩුවීම වන නිසා රාජ්‍ය ආදායම වැඩි කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නෑ. 2021 වසරේදී ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 ක් දක්වා විශාල ලෙස අඩු වී තිබෙන අතර එය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක් වෙනවා. 2019 වසරේ අග භාගයේදී හඳුන්වාදුන් බදු කපා හැරීම් නිවැරදි කරමින් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා රජය විසින් අවස්ථා තුනකදී බදු ක්‍රියාමාර්ග ඉදිරිපත් කළා. එනම්, 2022 වසරේ මැයි 30 දින, 2022 වසරේ අගෝස්තු මස ඉදිරිපත් කළ අතුරු අයවැය සහ 2022 වසරේ ඔක්තෝබර් මස ඉදිරිපත් කළ දේශීය ආදායම් පනත් කෙටුම්පතයි. බදු ප්‍රතිපත්තියේ අඩුලුහුඬුකම් නිවැරදි කරමින් බදු සහන තාර්කීකරණය කිරීම සිදුකරන අතර ප්‍රධාන වශයෙන් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු (ඪ්ඔ) සඳහා සිදු කළ වෙනස්කම් බදු යෝජනා තුළ ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙනවා.
     
    34.2  මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් 2023 වසරට සහ ඉන් ඔබ්බට ආදායම ඉහළ නැංවීමට උදව් වෙනවා මෙන්ම අනාගතයේ දී වියදම් ආවරණය කර ගැනීමට පිරිවැය අධික මුදල් මුල්‍යයනය (මුදල් මුද්‍රණය) කිරීමෙන් ඉවත් වීමට හැකි වෙනවා. එසේම, බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ රාජ්‍ය වියදමෙහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සහ දූෂණයට එරෙහිව සටන් වැදීමට රජය කැපවී සිටිනවා.
    34.3 විදුලිය, ප්‍රවාහනය සහ ඉන්ධන ඇතුළු විවිධ අංශ සඳහා ලබා දී ඇති එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් හේතුවෙන් අහිමිවන ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 කට වඩා වැඩි බව දළ ඇස්තමේන්තු මඟින් පෙන්නුම් කරනවා. එබැවින්, සමාලෝචනය කිරීමෙන් පසු ඇතැම් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමට යෝජනා කරනවා. ඇතැම් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමට අවශ්‍ය එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන 2023 වසරේ අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක කරනවා.
     
    34.4  ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් විසින් සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බද්ද නැතහොත් අත්තිකාරම් ආදායම් බදු වගකීම් තවමත් ගෙවනු ලබන බව පෙනී යනවා. මෙම කරුණ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මෙන්ම විගණකාධිපතිවරයා විසින් ද ප්‍රශ්න කර තිබෙනවා. එබැවින්, සාමූහික ගිවිසුම් යටතේ පුද්ගල පඩිනඩි ගෙවුවද එවැනි බදු රාජ්‍ය ව්‍යවසායයේ වියදමක් නොවිය යුතු බැවින්, 2023 වසරේ ජනවාරි මස 01 දින සිට එම ගෙවීම් අත්හිටුවීමට මා යෝජනා කරනවා.
     
     
    34.5 බීඩි මත බද්ද
    අ. බීඩි කර්මාන්තය විධිමත් කිරීම හා බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව, සහතික හා බලපත්‍ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරනු ලබනවා.
     
    34.6 රේගු බදු නොවන බදු (ඡ්ර් ඕරසffි) අදියර වශයෙන් ඉවත් කිරීම
    අ. නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට, ජාත්‍යන්තර වෙළඳාම සඳහා පවතින බාධක ඉවත් කිරීමට කෘෂිකර්මාන්තය ද ඇතුළුව දේශීය කර්මාන්ත හා ව්‍යාපෘති සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් හා පහසුකම් සැලසීමට වෙනුවෙන් 2023 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙස් බද්ද අදියර වශයෙන් වසර තුන කින් ද, වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බද්ද අදියර වශයෙන් වසර පහ කින් ද මුළුමනින්ම ඉවත් කිරීමට යෝජනා කරනවා. ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි යෝජිත බදු ඉවත් කිරීම අදියර වශයෙන් ගැලපීම සඳහා දැනට අය කරනු ලබන තීරු බදු    අනුපාත වන 0%, 10% සහ 15% යන බදු අනුපාත 0%, 15%, සහ 20% ලෙස සංශෝධනය කරනවා. මෙයට සමගාමීව අවශ්‍ය වෙළඳ ගැලපීම් වැඩසටහන ද  හඳුන්වාදීමට අදාළ කටයුතු සිදු කරනවා.
    ආ. කෙසේ වුවද, කෘෂිකර්මය පදනම්ව අගය එකතු කර සිදු කරනු ලබන කර්මාන්ත මත සෙස් : බදුවලට බාධාවක් නොවන පරිදි යෝජිත බදු ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කරනු ඇති.
     
    35. බදු නොවන ආදායම
     
    35.1 රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියේදී බදු නොවන ආදායම ඉහළ නැංවීමද වැදගත් වේ. එබැවින් විවිධ ගාස්තු 2023 ජනවාරි 01 වන දින සිට සියයට 20 කින් ඉහළ නැංවීමට මම යෝජනා කරනවා. එහෙත්, 2020, 2021 සහ 2022 යන වසර වලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මඟින් සංශෝධනය කෙරෙන්නේ නැහැ.
    35.2 ඒ ආකාරයටම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරනවා.
    35.3   රාජ්‍ය ආයතන විසින් අයකරන හා එකතු කරන පුරස්කාර, කුලී සහ අනෙකුත් බදු නොවන ආදායම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මහා භාණ්ඩාගාරයට නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමටත් මම යෝජනා කරනවා.
    35.4   රැස්කළ ආදායම් ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් දැරීමට සිදුවන සැළකිය යුතු මූල්‍ය පිරිවැය අඩු කර ගැනීම සඳහා 2023 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තු සහ අමාත්‍යාශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම් දෛනිකව සෘජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් යථා කාලයේ දී උපදෙස් නිකුත් කිරීමට අවශ්‍ය පියවර මහා භාණ්ඩාගාරය විසින් ගනු ඇත.
     
    36. බදු පරිපාලනය
     
    36.1   පුළුල් බදු පදනම, නිසි අනුකූලතාවය හා දැඩි ලෙස බලාත්මක කිරීම හරහා බදු පරිපාලන ක්‍රියාමාර්ග සමඟ මෑතක දී ප්‍රකාශයට පත් කරනු ලැබූ බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එකිනෙක බැඳී පැවතිය යුතුය. ඒ අනුව, තාක්ෂණය, රෙගුලාසි, ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා රේගුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ මානව සම්පත්වල සිදු කරන ආයෝජනය වැනි සංවර්ධනයන් මඟින් බදු පරිපාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කෙරෙනු ඇත.
     
    36.2   පළමු පියවරක් වශයෙන්, අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුටම බදු ගොනුවක් විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුන්වා දෙනු ලැබුව ද, ගොනු විවෘත කරනු ලබන බොහෝ දෙනෙකු බදු නිදහස් සීමාවෙන් පහළ සිටිනු ඇත. එමනිසා, ඉහළ ආදායම් උපයන්නන් හඳුනාගැනීම සඳහා සුවිශේෂී වූ ක්‍රියාමාර්ග හඳුන්වා දීම වැදගත් වන අතර, ඔවුන් බදු ගෙවීම සඳහා යොමු කර ගත යුතුයි. මේ සම්බන්ධයෙන්, බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා ඇමුණුම ඪෂ හි ඇති යෝජනා මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.
     
     
     
     
     
    වියදම් කළමනාකරණය
     
    37. වියදම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා කැපවීම
    37.1  රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නිසි අයුරින් වියදම් කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව විග්‍රහ කිරීම අවශ්‍ය නොවේ. එය ආදායම් වැඩි කර ගැනීමේ ප්‍රයත්නයන් සමඟ ද එකිනෙක බැඳී පැවතිය යුතුයි.
    37.2 වියදම් නිසිලෙස පරිපාලනය කිරීම සඳහා ඉන්ස්පෙක්ටර් ජනරාල්වරයෙකු පත් කිරීම සහ නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනත හඳුන්වා දීම ඇතුළු අතුරු අයවැය මඟින් යෝජනා කිහිපයක් හඳුන්වා දී ඇති අතර, නුදුරු අනාගතයේදීම ඒවා ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඊට අමතරව, රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම තහවුරු කිරීම සඳහා චක්‍රලේඛ උපදෙස් ගණනාවක් දැනටමත් නිකුත් කර තිබෙනවා.
     
    38. ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීම
     
    38.1 රටේ සියළු සංවර්ධන වැඩපිලිවෙළවල් ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු පිළිබඳව සොයා බැලීම සහ ප්‍රමුඛතා පදනම ඔස්සේ මතුවන ගැටළු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමට මෙය සුදුසුම කාලය වනවා.
     
    38.2 තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සහාය මෙවලමක් ලෙස යාවත්කාලීන දත්ත හා තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියේ කාර්යක්ෂම හා ඵලදායී ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීමක් වශයෙන් ඒකාබද්ධ විස්තීරණ වෙබ් පාදක ජාතික සංවර්ධන තොරතුරු පද්ධතියක් ජාතික මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපනය කිරීමට ද යෝජනා කරනවා.
     
    39.සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබා දීම
     
    39.1 විශේෂ කාණ්ඩ හැරුණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩප්‍රස්ථා ලබා දීමට මා යෝජනා කරනවා. ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකිවනසේ ඔවුනට නිසි පුහුණුවක් ලබා දීමට ද ක්‍රියාමාර්ග ගනු ලබනවා.
     
     
    40. රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙනු ලබන දුෂ්කර තත්ත්වයන්
     
    40.1 ප්‍රවාහන වියදම ඉහළ යාම, විදුලි බල හා ජල ගාස්තු වැඩි වීම හා අධික ආහාර උද්ධමනය හේතුවෙන් මාසික වැටුප තුළ වියදම් කළමනාකරණය කර ගැනීමේ දී, රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන් ඉතා අසීරු තත්ත්වකට පත්ව සිටින බව මා හොඳින් අවබෝධ කර ගෙන සිටිනවා.
    40.2 තවද, රජයේ නව වැඩපිළවෙළ අනුව, තවත් වසරක් පමණ ගත වන විට ආර්ථීකය යහපත් අතට හැරී රජයේ ආදායම වැඩි වේ යැයි අපේක්ෂා කරනවා. එමෙන්ම, අප විසින් යෝජනා කරන රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ ද සහිතව ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට ද හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැළකිය යුතු සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි වෙතැයි විශ්වාස කරනවා.
     
    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
     
    41. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම
     
    41.1 පසුගිය මාස හය තුළ කිහිපවතාවක් රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කඩිනම් අවශ්‍යතාවයක් ඇති විය. අතුරු අයවැය මඟින් පොරොන්දු වූ පරිදි රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සුවිශේෂී කාර්යය භාරය සඳහා මේ වන විට මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
    41.2 ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇත.
    41.3 පරිමාණුකූල පිරිමැසුම් ඇතූළු වාසි ළඟා කර ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය ව්‍යවසායයන්ට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරනු ඇත. එම නිසා, පසු අන්ත, පෙර අන්ත හා තිරස් ඒකාබද්ධකරණය  මඟින් සමාන ස්වභාවයකින් යුත් ව්‍යාපාර පෙළ ගැස්වීමට ද යෝජනා කරනවා.
    41.4 අපනයන ආදායම වර්ධනය කිරීම සඳහා මැණික් සම්බන්ධ ශිල්පීන්ට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ එකාබද්ධ කරනු ඇත. කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් (මැණික් කලාපයක්) පිහිටුවීමේ හැකියාව ද රජය විසින් සොයා බලනු ඇත.
     
    ණය කළමනාකරණය
     
    42. රජයේ ශේෂ පත්‍රයට තෝරාගත් රාජ්‍ය ව්‍යවසායයන්හි ණය ඇතුළත් කිරීම
    42.1  තෝරාගත් රාජ්‍ය ව්‍යවසායයන් හි ශේෂ පත්‍ර ශක්තිමත් කිරීමේ එක් අදියරක් ලෙස, චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද සහ මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ ණය ලෙස වර්ගීකරණය කර තිබූ ණය, 2022 දෙසැම්බර් මස අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනාගනු ඇත. ඇපකර මත ලබා ගන්නා ලද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විදේශ ණය ද, 2022 දෙසැම්බර් මස අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනාගනු ලබනවා.
     
    මූල්‍ය අංශය
     
    43. නව මූල්‍ය වත්කම් කළමනාකරණ සමාගම් පනත
    43.1  බැංකුවල හා මූල්‍ය ආයතනවල අක්‍රීය වත්කම් වෙන්කර, වත්කම් කළමනාකරණ සමාගමකට පැවරීමට හැකිවන නව මූල්‍ය වත්කම් කළමනාකරණ සමාගම් පනතක් හඳුන්වා දීමට යෝජනා කරනවා. පියවා ගත නොහැකි ණය අගතියට පත් වූ ආයතනයකින් පහසුවෙන් ඉවත් කිරීම මඟින් මූල්‍ය ආයතන නිරාකරණයට පත් කිරීමේ ක්‍රියාවලිය මෙමඟින් සුමට කරනු ඇත.
     
    44. ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීම
     
    44.1 ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීමට මා යෝජනා කරන අතර, නියාමනය කෙරෙන ආයතන, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වෙත වාර්තා කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී ඇති කරනු ලබයි.
     
    45. නීල හා හරිත මූල්‍යකරණ අවකාශය
     
    45.1  ගරු කථානායකතුමනි, කාලයක් තිස්සේ මෙරට විසින් පරිසරයට හිතැති වත්කම් නිර්මාණය කර ඇති අතර, නැගී එන නීල හා හරිත මූල්‍යකරණ අවකාශය වෙත ප්‍රවේශ වී එම වත්කම් මුදල් බවට පත් කිරීමේ හැකියාව පවතියි. ශ්‍රී ලංකාව ප්‍රධාන අන්තර්ජාතික ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති අතර, ඔයසරඑහ ඉහ ඔයසරඑහ (තිහේදී තිහ) ප්‍රවේශයේ කොටසක් වීමට ද එකඟතාවය පළ කර ඇත. මේ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන මෙරට විසින් ඉදිරියට ගෙන යන අතරතුර, නීල, හරිත හා තිරසාර මූල්‍යකරණය ඇතුළු තිරසාර ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි සාමුද්‍රික අවකාශ ගිවිසුම හා සම්බන්ධ වැඩකටයුතු ආරම්භ කිරීමට ද, සුවිශේෂී ආර්ථික කලාප නිවේදනය කිරීමට ද යෝජනා කරනවා.
     
     
    සමාජ සුබසාධනය
     
    46. සුභසාධක ප්‍රතිලාභ ප්‍රතිපත්තිය
     
    46.1 ගරු කථානායකතුමනි, මා විසින් 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැය කථාවේ 19 වැනි පරිච්ඡේදය වෙත ඔබගේ අවධානය යොමු කරනවා. 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනත අනුව, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමාජ ලේඛනය පිළියෙළ කිරීම දැනටමත් ආරම්භ කර ඇත. ඒ අනුව, ප්‍රතිලාභී අයදුම්පත් පිළිබඳ කරුණු සිදු කරන අතර, දත්ත පද්ධති ද සකසා ඇත. නිවැරදි බවට තහවුරු කළ හැකි සුදුසුකම්ලාභී නිර්ණායක මත පදනම්ව ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ නෛතික නියෝග 2022 ඔක්තෝබර් මස 20 වන දින වන විට අප විසින් ප්‍රකාශයට පත් කළා.
    46.2 ක්‍රියාවලියේ ඊළඟ අදියර ලෙස, ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම තහවුරු කර ගැනීම සඳහා දැනටමත් ලියාපදිංචි වී සිටින අයදුම්කරුවන්ගේ නිවාස වෙත යාමට ද, නීතිය අනුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද, සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, නව සුදුසුකම් ලැබීමේ නිර්ණායක යොදාගෙන ප්‍රතිලාභීන් තේරීම 2023 ජනවාරි මස සිට ආරම්භ වන අතර, සුදුසුකම් සපුරන්නන්ගේ ලේඛනය ප්‍රකාශයට පත් කෙරේ. 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනත අනුව, සමාජ ලේඛනය මත පදනම්ව සියලුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රම සකස් කෙරෙනු ඇත.
    46.3 සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය, සියලුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධීකරණය කරනු ඇත. මෙම සමාජ ලේඛනය යටතේ ඉලෙක්ට්‍රොනික වශයෙන් ප්‍රතිලාභ ගෙවීම් හා එම ලේඛනය යටතේ ඇතුළත් කොට ඇති සියලුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම්, සුදුසුකම් ලබන ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට යැවීම සඳහා පහසුකම් සලසනු ලැබේ. නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනාක්‍රම යටතේ ගෙවීම් 2023 වසරේ අප්‍රේල් මාසය වන විට ආරම්භ කිරීමට අපේක්ෂිතය. ඒ වන තුරු, පවතින සුභසාධක ප්‍රතිලාභ යෝජනාක්‍රම පවත්වා ගෙන යනු ලැබේ.
     
     
    47. සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම
    47.1 ගරු කථානායකතුමනි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනා අපේක්ෂාවෙන් සැළකිය යුතු ප්‍රතිලාභීන් පිරිසක් පොරොත්තු ලේඛනයේ රැදී සිටියි. ඔවුන්ට ඇත්ත වශයෙන්ම සහන ලබා දිය යුතු බැවින්, ඔවුන් වෙත ද දීමනා ලබා දෙමින්, අයවැය යටතේ ප්‍රතිපාදන වෙන් කිරීමට මහා භාණ්ඩාගාරයට උපදෙස් ලැබුණා. ඒ අනුව, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටි පුද්ගලයන් අතරින් අත්‍යාවශ්‍ය පුද්ගලයන්ට 2023 වසර මුළුල්ලේ ප්‍රතිලාභ  ලබා දීමට අවශ්‍ය වන ප්‍රතිපාදන අයවැය මඟින් දැනටමත් වෙන් කර තිබෙනවා.
    47.2 වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක් විය හැකි ප්‍රජාව විසින් මුහුණ දෙන දුෂ්කරතාවන් අවම කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ලක්ෂ තිහකට අධික පුද්ගලයන්ට, එනම්, සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනාවල ප්‍රතිලාභීන්ට සහ ආර්ථික වශයෙන් බලපෑමට ලක් වූ 726,000 කට අධික පවුල්වලට ගෙවනු ලබන දීමනා වැඩි කිරීමට 2022 අතුරු අයවැය මඟින් පියවර ගන්නා ලදී. එම සහන මෙමඟින් තවත් මාස හතරක් දක්වා දීර්ඝ කිරීමට රජය අවධානය යොමු කර ඇත.
    47.3 ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන්, වර්තමානයේ දි අයවැය ප්‍රතිපාදන මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව, සමස්තයක් වශයෙන් රුපියල් බිලියන 43 ක අමතර වෙන් කිරීමක් ලබා දෙනු ඇත.
     
     
    48.කුටුම්භ ව්‍යවසායකයන් ලෙස වැඩිහිටියන්/ ආබාධිත පුද්ගලයන්/ වැන්දඹුවන් ශක්තිමත් කිරීම
     
    48.1 වැඩිහිටියන්/ ආබාධිත පුද්ගලයන්/ අඩු ආදායම් ලබන්නන්/වැන්දඹුවන් යනු ආර්ථික වශයෙන් වැඩි අවධානයක් යොමු විය යුතු කොටසකි. ඔවුන්ගේ හැකියාවන් සහ ශ්‍රමය යොදා ගනිමින් මෙම ප්‍රජාව ආර්ථීක වශයෙන් ශක්තිමත් කිරීමට ද, එමඟින් ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට ද හැකියාව ඇත. ඒ අනුව, කාන්තා කටයුතු අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒ ඒ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව වැඩසටහනක් පිළියෙළ කළ යුතු බවට යෝජනා කරමි. මේ සම්බන්ධයෙන් 2023 වසර සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. තවද, ඔවුන් විසින් නිපදවන නිෂ්පාදන වෙළඳපොළෙහි ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පෞද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීම සඳහා පියවර ගනු ඇත.
     
     
    49. ළමා පෝෂණය වැඩි කිරීම
     
    49.1 වර්තමාන ආර්ථික අර්බුදය මධ්‍යයේ, වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර උග්‍ර මන්දපෝෂණයේ වැඩි වීමක් නිරීක්ෂණය කෙරේ. ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස හට ගැනෙන සෞඛ්‍යමය ගැටළු අඩු කිරීම සඳහා පවත්නා පෝෂණ අතිරේක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දීමට යෝජනා කරනවා.
     
     
    කෘෂිකර්මාන්තය
     
    50. පොල් වගාව ව්‍යාප්ත කිරීම
    50.1 පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කිරීම තුළින් විදේශ විනිමය උපයා ගැනීමේ නව අවස්ථා බිහිවී ඇති බැවින් පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අගය එකතු කර සිදු කරන අපනයන සදහා පහසුකම් සැලසිය යුතුයි. මෑත කාලයේ දී පොල් ඉඩම් කැබලි කොට වෙනත් කාර්යයන් සඳහා බහුලව යොදා ගන්නා බව පෙනී යන කරුණකි. එබැවින්, දැනට වගා කර ඇති පොල් ඉඩම් තවදුරටත් සංවර්ධනය කළ යුතු අතර පොල් නැවත වගා කිරීම ද දිරි ගැන්වීම සඳහා පියවර ගත යුතුයි.
     
    50.2  දැනට ඇති නීතිමය ප්‍රතිපාදන අනුව  හෙක්ටයාර් 4කට වඩා අඩු පොල් ඉඩම් කැබලි කිරීමට ඉඩදී ඇති බැවින් බොහෝ සාරවත් පොල් ඉඩම් කැබලි කිරීමට ලක් කිරීම හේතුවෙන් වාර්ෂික පොල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් සිදුවී ඇත. එබැවින්, දැනට පවතින නීතිමය විධිවිධාන සංශෝධනය කොට පොල් ඉඩම් කැබලි කිරීම,  අක්කර 1කට හෝ ඊට අඩු පොල් ඉඩම් සදහා පමණක් සීමා කිරීමට මම යෝජනා කරනවා.
     
     
    51. කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම
     
    51.1 කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන්, කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීමට ද, එමඟින් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට ද, අපේක්ෂා කරනවා. මේ සඳහා, නවීන තාක්ෂණය යොදා ගනිමින්, අපනයනාභිමුඛ නිෂ්පාදන දිරිගැන්වීමට කෘෂි ව්‍යවසාය ගම්මාන 10 ක් ස්ථාපනය කිරීමට මම යෝජනා කරමි. මේ සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
     
    52. ත්‍රෛයිලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම
     
    52.1 ත්‍රෛයිලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතු යැයි මා යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා.
    53. පසු අස්වනු වගා හානි අඩු කිරීම හා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම
    53.1 කෘෂි නිෂ්පාදනය වැඩි කිරීමට අප වෙහෙස වී වැඩ කළ ද, නුසුදුසු ගබඩාකරණය හා ප්‍රවාහන ගැටළු වැනි විවිධ ගැටළු හේතුවෙන් අපගේ නිෂ්පාදනවලින් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙනවා. එම නිසා, පසු අස්වනු හානි අඩු කිරීම සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය හා විවිධ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් රු. මිලියන 150 ක් පමණ වෙන් කිරීමට යෝජනා කරනවා. සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීම පිණිස යෝජනා ලබා ගැනීමට විශේෂ කමිටුවක් පත් කිරීමටත් යෝජනා කරනවා.
    වාරිමාර්ග
     
     
    54. ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කිරීම
     
    54.1 ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කිරීමට, මා ඔය, අත්තනගලු ඔය සහ බෙන්තර ගඟ පාදක වූ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 500 ක අතිරේක මුදලක් ලබා දෙනු ඇත.
     
     
     
    කිරි නිෂ්පාදනය
    55. දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම
    55.1 දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා, කුණ්ඩසාලේ කෘතිම සිංචන මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීමට ද, නව තාක්ෂණය යොදා ගැනීමට ද යෝජනා කරනවා. මේ සඳහා, 2023 වසරේ දී රුපියල් මිලියන 100 ක් යෙදවීමට යෝජනා කරනවා. මෙම කර්තව්‍යය සඳහා සහාය ලබා දීමට පෞද්ගලික අංශයේ ශක්‍යතාවයන් ඉහළ නංවා ගැනීමට මම එම අංශය දිරිමත් කරනවා.
     
     
    පරිසරය
    56. දේශගුණික වෙනස්වීම් පිළිබදව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්
     
    56.1 ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම් සැබෑ මෙන්ම සංකීර්ණ වේ. දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට උපකාර කරමින් මානව වර්ගයාගේ පොදු පැවැත්ම සඳහා වූ වැඩසටහනට ශ්‍රී ලංකාව ද දායක විය යුතුය. ඒ අනුව දේශගුණික විපර්යාස අවම කිරීමේ ක්ෂේත්‍රවල දැනුම වැඩි දියුණු කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, පුහුණුව, හැකියාවන් ගොඩනැගීම, වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැළසුම් කරනවා. මෙහි  මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.
     
    57. සංවර්ධනය සඳහා ග්‍රීන් හයිඩ්‍රජන්   තාක්ෂණය යොදා ගැනීම.
     
    57.1 ලෝකයේ බලශක්තියක් ලෙස ෆොසිල ඉන්ධන භාවිතා කිරීම මිල අධික වන අතර පරිසරයට හානිදායක බැවින්, පුනර්ජනනීය බලශක්ති භාවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. මේ අතර හරිත හයිඩ්‍රජන් බලශක්තිය ලෙස භාවිත කිරීමට බොහෝ රටවල් විවිධ අධ්‍යයනයන් සිදු කරයි. මෙම තාක්ෂණයේ තවත් වාසියක් වන්නේ පොහොර නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි වීමයි. ශ්‍රී ලංකාවේ කාලගුණික හා දේශගුණික තත්ත්වයන් තුළ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සඳහා (සූර්‍ය බලයෙන් ජලය භාවිතා කරමින්) වඩාත්  උචිත පරිසරයක් පවතී. එබැවින් හරිත හයිඩ්‍රජන් වාණිජ  පදනමින් නිෂ්පාදනය සඳහා ,පර්යේෂණ හා සංවර්ධන කටයුතු  රාජ්‍ය පෞද්ගලික අංශයේ සහයෝගයෙන්   පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම වඩා හොඳය. එබැවින් පුත්තලම- මන්නාරම වෙරළබඩ කලාපයේ සුදුසු ස්ථානයක හවුල් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස යෝජනා කරනවා.
     
    58. වන ගහණය වැඩි කිරීම සදහා ප්‍රජා සහභාගීත්වය
     
    58.1 ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රවණතාවයත් සමඟ වන ගහණය වැඩි කිරීමේ ඇති වැදගත්කම හදුනාගෙන ඇත. ඒ අනුව, දැනට අඩු වී ඇති වන ගහනයෙන් අක්කර 50,000 ක ප්‍රමාණයක් 2027 වන විට යළි ප්‍රතිස්ඨාපනය කිරීමේ සැලසුමට අදාළ  කාර්යයන් කඩිනම් කිරීමට කටයුතු කළ යුතුය. එයට අමතරව වනාන්තරවලින් බැහැරව තුරු ආවරණ ඉහළ නැංවීමට පොදු ස්ථාන, වැව්තාවුලු, ජල පෝෂක ප්‍රදේශ තෝරාගෙන ප්‍රජා සහභාගීත්වය සහිතව  සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනවා.
     
     
    පර්යේෂණ සහ රසායනාගාර පහසුකම්
     
     
    59ග සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක්
     
    59.1 මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම, ප්‍රමිතීන් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබීම තුළ මිනිස්  භාවිතයට නුසුදුසු  මධ්‍යසාර නිෂ්පාදන හදුනා ගැනීම හා ඒ සම්බන්ධව නිතිමය ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර වී ඇත. ඒ අනුව, මධ්‍යසාර නිෂ්පාදනවලට අදාළව පරීක්ෂණ කටයුතු කිරීම සඳහා රසායනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කිරීමට මම යෝජනා කරනවා. ඒ අනුව, රසායනාගාරය ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.
     
    ප්‍රවාහනය
     
    60. මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම
     
    60.1 රටේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම පිරිවැය අධික කාර්යයක් වුවද, මේ සඳහා වාර්ෂිකව අයවැයෙන් වෙන් කළ හැකි ප්‍රතිපාදන ප්‍රමාණය සීමාසහිත වේ. ඒ අනුව, ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මඟින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා. මෙම අරමුදල මඟින් වාර්ෂිකව සියලු වර්ගවල මාර්ග නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දීමට අපේක්ෂිතය. මෙම අරමුදල ස්ථාපනය කිරීම සඳහා, 2023 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මේ සඳහා ක්‍රමවේදයක් ස්ථාපනය කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.
     
     
    61. ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම්
    61.1 ගංවතුර නිසා හානියට පත් වූ මාර්ග හේතුවෙන් ජනතාව විසින් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට 2023 වසර සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. කැළණි ගඟ හරහා ඇති ගරාගොඩ පාළම අළුත්වැඩියා කිරීමට ද, බදුල්ල රජ මාවතෙහි ඉතිරි වැඩ නිම කිරීමට ද පියවර ගනු ඇත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිම නොවූ වැඩ කටයුතු අවසන් කිරීමට ද පියවර ගනු ඇත.
     
    62. සූර්ය බලශක්තිය/ විද්‍යුත් මෝටර් කාර්  නිෂ්පාදනයට පහසුකම්
     
    62.1 පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් විදුලි බලය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහාත්, එයට අදාළ සූර්ය පැනල දේශීයව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහාත්, සුර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල (ීදක්ර ඡ්බැකි) සංයෝජිත වර්ගීකරණ කේතාංක 8541.10 හා ප්‍රතිවර්තක (ෂබඩැරඑදර) සංයෝජිත වර්ගීකරණ කේතාංක 8504.40 ආනයනය කිරීමේ දී දැනට අයකරනු ලබන වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු හා සමාජ ආරක්ෂණ බද්ද 2023.01.01 දින සිට  ඉවත් කිරීමට යෝජනා කරමි.
     
    62.2 එසේම, විද්‍යුත්  මෝටර් කාර්  (ෑකැජඑරසජ ක්‍්රි)  එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහාත් අවශ්‍ය දිරිගැන්වීම් සිදු කරනු ලැබේ. ඒ අනුව  මෝටර් වාහන එකලස් කිරීම සිදු කරනු ලබන ආයතන විසින් අවම වශයෙන් 25% ක දේශීය අගය එකතු කරන සහ එයට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා  පමණක්  සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
    62.3 මෙහිදී, දේශීය විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය  අගය එකතු කිරීම සහ දේශීයව නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ උපාංග භාවිතා කරනු ලබන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සහ අනුමත දේශීය විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතන  සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට යෝජනා කරමි.
     
    62.4 යෝජිත තොරතුරු පද්ධතිය යටතේ තීරු බදු සහන සඳහා සෑම විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතනයක් විසින්ම දේශීයව ලබා ගන්නා මෝටර් රථ උපාංගවල වටිනාකම සහ එකලස් කරනු ලබන මෝටර් රථවල දේශීය අගය එකතු කිරීමේ ප්‍රතිශතය ස්වයංක්‍රීයව සහතික කිරීමට ද හැකිවන පරිදි  පද්ධතිය සකස් කළ යුතුය. මෙම පරිගණක තොරතුරු හුවමාරු ක්‍රමවේදය කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවර්ධනය කර නඩත්තු කළ යුතුය.
     
    63. ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබා දීම
    63.1 විදේශ මූලාශ්‍ර සහ රජයේ දායකත්වයෙන් ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබා දීමට කටයුතු කරනු ඇත.
    තරුණ ක්‍රියාකරීත්වය දිරිගැන්වීම
     
    64. කෘෂිකර්මාන්තය තුළ තරුණයන් රඳවා ගැනීම
     
     
    64.1 කෘෂිකර්මාන්තය තුළ තරුණ ප්‍රජාව රඳවා ගැනීම, රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේදී ඉතා වැදගත් වේ. ඒ සඳහා, වර්තමානයට ගැලපෙන පරිදි කෘෂිකර්මාන්තය ද නවීකරණය කළ යුතුය. එම කාර්යය සඳහා, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය කරමින්, දැනට රැකියා විරහිත තරුණ තරුණියන් 240 දෙනෙකු  තෝරාගැනීමට ද, ඔවුන් කෘෂි ව්‍යවසායකයන් ලෙස බල ගැන්වීමට ද යෝජනා කරමි. මෙම කාර්යය සඳහා රු. මිලියන 120 ක් වෙන් කරනු ඇත.
    65. තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමය
    65.1 ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය යෝජනාක්‍රම ව්‍යාපෘතිය මඟින් ආවරණය නොවන අවිධිමත් කුටුම්භ ව්‍යාපාරවල නියැලෙන තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැදගත්කම හඳුනාගනිමින්, නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත.
    65.2 මෙම යෝජනාක්‍රමය යටතේ, මෙම වැඩසටහනේ පළමු අදියරේ දී අවම වශයෙන් තරුණ කාන්තාවන් 1,000 ක් බලගන්වමින්, තරුණ කාන්තා ව්‍යවසායකයෙකුට රුපියල් 250,000.00 ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකි වනු ඇත. මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා මූලික අරමුදලක් ලෙස, 2023 වසරේ දී රුපියල් මිලියන 250 ක් වෙන් කෙරෙනු ඇත.
     
     
    66. විදේශ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම
    66.1 විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා, 2023 වසරේ දී ජාතික තරුණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මම යෝජනා කරමි.
     
     
    සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්
     
    67ග පානීය ජල බෝතල් සදහා ආරක්ෂිත මුද්‍රාවක්  
     
    67.1  පානීය ජල බෝතල් භාවිතය සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව පානීය ජලය පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකිවන පරිදි ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදු කරනු ලබන අවස්ථාවේ ම ඒ සඳහා ආරක්ෂිත මුද්‍රාවක් (ීඑසජනැර) යෙදීමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රමවේද හඳුන්වා දීමට සහ පසුවිපරම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගත යුතුය.
    68ග රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම්
    68.1  දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාරයන්හි අනුමත ධාරිතාවය 13,241 ක් වේ. එහෙත් දැනට සිටින සමස්ත රැඳවියන් ප්‍රමාණය (සැකකරුවන් ද ඇතුළුව) 25,162 කි. ඒ අනුව, දැනට පවතින සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් වැඩිදියුණු කිරීම හා ප්‍රමාණවත් පහසුකම් අලුතින් ඇති කිරීම සිදු කළ යුතුව ඇත. ඒ සඳහා, රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙම කාර්යය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුය.
    69. රෝහල් උත්ශ්‍රේණි කිරීම
    69.1 බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට යෝජනා කරමි.
    70. රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක කිරීම
    70.1 එමෙන්ම, රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පළමු අදියර ලෙස, ජාතික හා මූලික රෝහල්වල මෙම ක්‍රමය ස්ථාපනය කරනු ඇත.
    අයවැය යෝජනා අධීක්ෂණය
     
     
    71. අයවැය යෝජනා අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධන බලකායක්
     
     
    71.1 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඒවා නියමිත කාලය තුළ ක්‍රියාත්මක කර මහජනතාව වෙත ප්‍රතිලාභ ලබා දිය යුතු වුවත් ක්‍රියාත්මක වීමේ දී අඩුපාඩු රැසක් පවත්නා බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, සියලුම අයවැය යෝජනාවන් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා අධීක්ෂණ කටයුතු කිරීමට ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට මා යෝජනා කරනවා.
    72. අයවැයෙහි සාරාංශයක් ඇමුණුම ෂ හි ඉදිරිපත් කර ඇත. දේශීය ණය සුරැකුම්පත්වල පොත්/ මුදල් අගය සඳහා ගැලපුම් හේතුවෙන් 2023 මූල්‍ය වර්ෂය සඳහා ණය ගැනීමේ සීමාව වැඩි කිරීමට විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඇමුණුම ෂෂ මඟින් ඉදිරිපත් කර ඇත.
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya