අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මඩින්න ජනපති, අගමැති අතගසති- ඩෙංගු පාලන බලතල ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන්ට ...

    ජූනි 01, 2020

    පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙති.

    සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. වෙනත් ප්‍රදේශවලවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙති. මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ඒ සඳහා පළාතේ සියලු පලාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ඉදිරි සැලසුම් සැකසීම පිණිස ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

    පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය. නොවැම්බර් සිට ක්‍රමවත්ව කසළ බැහැර කිරීම සහ කොවිඩ් මර්දනයට සමගාමීව පැවති ඇඳිරි නීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත්‍රව තබා ගැනීම ඊට හේතුවී තිබේ. පළාත් අතර සංචරනය සීමා වීම ද තවත් සාධකයකි.

    පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණ. සෞඛ්‍ය අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරේ. ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.

    ඩෙංගු රෝගියෙකු රජයේ හෝ පෞද්ගලික රෝහලකට වාර්තාවූ වහාම ඒ පිළිබඳව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් විය යුතුය. අනතුරුව අදාළ ස්ථාන නොපමාව දූමායනය කොට පවිත්‍ර කළයුතුය. ඩෙංගු මර්දනය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙසත්, සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

    ආණ්ඩුකාරවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීහූ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya