අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය - ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි

    ජූනි 05, 2020

    ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවත්, රටේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.


    ඉදිරි වසර 5 තුල ලෝකයේ දිළිඳුම රටවල් කිහිපයක මැලේරියාව, කොලරාව, සරම්ප, එච්අයිව් ඒඩ්ස් වැනි බෝවෙන රෝග මර්දනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීමට ඩොලර් බිලියන 7.4ක් රැස් කර ගැනීමේ අරමුණෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ (04) පවත්වන ලද “ගෝලීය එන්නත් සමුළුව 2020”ට එක් වෙමින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේය. එක්සත් රාජධානිය, බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම, ගැවි එන්නත් සන්ධානය සහ එක්සත් ජාතීන් එක්ව සංවිධාන කළ සමුළුව රාජ්‍ය නායකයන්ගේ, විවිධ පදනම් ආයතනවල, පෞද්ගලික අංශයේ හා සිවිල් සමාජයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.


    “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශ්‍රි ලංකාව විශ්වාසය තබා ඇත. අපේ අරමුණ වන්නේ සෑම දරුවෙකුටම ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ මට්ටමක් සහතික කිරීම සඳහා එන්නත්වල ගුණාත්මකභාවය හා ශක්‍යතාව සහතික කිරීමයි”, සමුළුව අමතමින් රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    උද්ගතව ඇති කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ළමා එන්නත්කරණය නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව අවධාරණය කළ ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සහ අවශ්‍යතාව පැන නැගුණු විට නව එන්නත් නිසි වේලාවට හඳුන්වාදීම බවයි.


    “ගත වූ වසර 30 පුරා රෝග මර්දනය කිරීමේ අපේ සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීමට අපි අන් කවරදාටත් වඩා දැන් උනන්දු වන්නෙමු” යයි ද ජනාධිපතිතුමා කීය. සිය සාර්ථකත්වයේ වාර්තව සහ යහපුරුදු ගෝලීය ප්‍රජාව සමඟ බෙදා ගැනීමට ශ්‍රි ලංකාව සූදානම් බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    ( ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව පහත පරිදි වේ)

    ගෝලීය එන්නත් සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව

    ගරු මැතිඳුනි, නෝනාවරුනි, මහත්වරුනි,

    මට ආරාධනා කිරීම පිළිබදව අගමැති ජොන්සන් මැතිතුමාට ස්තූතිවන්ත වන අතර මේ වැදගත් ප්‍රවේශය සඳහා එක්සත් රාජධානියේ නායකත්වය අගය කරමි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිශක්තිකරණ වැඩසටහන දශක තුනකට වැඩි කාලයක් ක්‍රියාවට නැංවෙන අතර එය ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා මූලික සෞඛ්‍ය සේවා සමග මනා ලෙස අනුබද්ධ වී පවතී. අපි සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබාගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සපයන්නෙමු. අපේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබේ.

    ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසිනි. ශක්තිමත් නිරීක්ෂණ ක්‍රමයක් අප සතුව තිබේ. එන්නත් මගින් සුවකළ හැකි සියලු රෝග බෝවන රෝග අධීක්ෂණය එහි අත්‍යාවශ්‍ය අංගයකි. අපි දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඉහළ මට්ටමේ එන්නත් ආවරණයක් පවත්වාගෙන යන්නෙමු.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශ්‍රී ලංකාව විශ්වාසය තබා ඇත. අපේ අරමුණ සෑම දරුවෙකුටම ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ ප්‍රගතියක් සහතික
    කිරීම සඳහා එන්නතේ ගුණත්මකබව හා ශක්‍යතාව සහතික කිරීමයි. ශ්‍රී ලංකාව එන්නත් මිලදී ගැනීම ඇතුළු ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා නිශ්චිත අයවැය ප්‍රතිපාදන පවත්වාගනී. එවන් වැඩසටහනක සාර්ථකත්වය සඳහා අතිශයින් වැදගත් මූල්‍ය ස්ථාවරත්වය ප්‍රදර්ශනය කරමින් පිරිවැයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් දරන්නේ රජය විසිනි. ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහය වන ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික ආධාර කණ්ඩායම් වන ගැවි (GAVI) ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යන ආයතනවලට අපි කෘතඥ වන්නෙමු. කොවිඩ් 19 වටපිටාව තුළ ළමා එන්නත්කරණය නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ වැඩසටහනේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සහ අවශ්‍යතාව පැන නැගුණු විට නව එන්නත් නිසි වේලාවට හඳුන්වාදීමය. ගත වූ වසර 30ක් පුරා රෝග මර්දනය කිරීමේ අපේ සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීමට අපි අන් කවරදාටත් වඩා උනන්දු වන්නෙමු. අපේ සාර්ථකත්වයේ වාර්තාව සහ යහ පුරුදු ගෝලීය ප්‍රජාව සමග බෙදා ගැනීමට ද අප සූදානම්ය.


    ඔබට ස්තූතියි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya