මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති බොලීවියාවේදී ශ‍්‍රී ලංකාවේ යථාර්ථය ලොවට පැහැදිලි කරයි

    ජූනි 16, 2014
    77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීම සඳහා බොලීවියාවේ සැන්ටා කෲස් නගරය වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමුළුව පැවති එක්ස්පෝ කෲස් අපනයන කේන්ද්‍රයේදී ඊයේ (15) රටවල් කිහිපයක නායකයන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වෙමින් ශ‍්‍රී ලංකාවේ යථාර්ථය ඔවුනට පැහැදිලි කළේය.


    ගැබෝන් අග‍්‍රාමාත්‍ය ඩැනියෙල් ඔනා ඔන්ඩෝ (Daniel Ona Ondo), උරුගුවේ ජනාධිපති ඔසේ මුජිකා (ose Mujica) සහ ඉක්වටෝරියල් ගිනි ජනාධිපති ටියඩෝරෝ ඔබියැංග් නියුමා ම්බසාගෝ (Teodoro Obiang Nguema Mbasogo) එතුමා හමු වූ නායකයෝ වූහ. 

     

    රට දෙකඩ කිරීම සඳහා ත‍්‍රස්තවාදී සටනක් කළ එල්.ටී.ටී.ඊ.ය දේශපාලන නායකයන්, සිවිල් වැසියන් හා නිලධාරීන් ඝාතනය කරමින් හා පොදු දේපොළ විනාශ කරමින් සිදු කළ හානිය ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා විස්තර කළේය. ත‍්‍රස්තවාදීහු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙක්, ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍යවරයෙක්, සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ නායකයන් සහ සෑම ජන කොටසකටම අයත් සිවිල් ජනයා ඝාතනය කළහ. ළදරුවන් පවා ඔවුන් විසින් මරා දමන ලදී. සිදු වූ දේපොළ විනාශය අතිමහත් බව ද එතුමා කීය.


    සෑම ආණ්ඩුවක්ම සාකච්ඡා මඟින් ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමට උත්සාහ කළ බවත් තම රජය ද සාම සාකච්ඡා සඳහා ජිනීවා හා ඔස්ලෝ නගර වෙත ගිය බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය. එහෙත් ත‍්‍රස්තවාදීන් බෙදුම්වාදය අත්හළේ නැත. එබැවින් යුදමය ක‍්‍රියාමාර්ගයකින් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට තම රජය සමත් වූ බව ජනාධිපතිතුමා විදේශ නායකයන්ට පෙන්වා දුන්නේ ය.


    "ගැටුම් අවසන් වීමෙන් පසු අපි රට වේගයෙන් සංවර්ධනය කිරීම ආරම්භ කළා. අවතැන්වූවන් යළි පදිංචි කළා. 12,000ක් පමණ සටන්කරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කෙරුණා. සියලු ම හිටපු ළමා සෙබළුන් දෙමාපියන්ට භාර දුන්නා. ගැටුම් පැවති ප‍්‍රදේශවල අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ ජීවනෝපාය මාර්ග අංශවල ආකර්ශණීය ප‍්‍රගතියක් ඇති වී තිබෙනවා. රටේ ආර්ථික වර්ධනය දැන් 7.5%ක්. උතුරේ එය 22%ක්" යැයි ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය. 

     

    උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම සහ අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව ඇතුළු ජාතික සංහිඳියාව සඳහා කොමිසම් සභා පත් කෙරුණු බව ද එතුමා වැඩිදුරටත් පැවසීය.

     

    මෙවැනි ප‍්‍රගතියක් අත්කර ගෙන තිබුණ ද බාහිර බලවේග මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්ථාවර කිරීමට උත්සාහ කරමින් සිටින බව රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය. 

     

    ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පැහැදිලි කර දීම පිළිබඳව ගැබෝන්, උරුගුවේ හා ඉක්වටෝරියල් ගිනි රාජ්‍ය නායකයෝ ජනාධිපතිතුමාට ස්තූතිය පුද කළහ.

     

    මෙම අවබෝධය අනාගත තීරණ ගැනීම සඳහා බෙහෙවින් ප‍්‍රයෝජනවත් බව ද ඔවුහු කීහ. තම රට බලපෑම්වලට ගොදුරුව සිටින බව උරුගුවේ ජනාධිපති ඔසේ මුජිකා මැතිතුමා පැවසීය.

     

    මේ සාකච්ඡාවල දී ශ‍්‍රී ලංකාව සහ අදාළ රටවල් සමඟ ආර්ථික, වෙළෙඳ, ආයෝජන හා සංචාරක ක්ෂේත‍්‍රවල සබඳතා වර්ධනය කර ගැනීමේ ඉඩකඩ ද විමසා බැලිණ.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී  ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන හා කියුබාවේ ශ‍්‍රී ලංකා තානාපති සරත් දිසානායක යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.

     

    NDH/HC-pmu

     

    01 1

     

    04 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya