අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජී 77 නායක සමුළුවට ජනපති බොලීවියා යයි

    ජූනි 12, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 77 කණ්ඩායමේ (ජී 77) ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වනු පිණිස අද (12) සවස බොලීවියාව බලා පිටත් විය.


    නායක හමුව ජුනි 14 සහ 15 දෙදින බොලීවියාවේ සැන්ටා කෲස් ඩි ලා සියෙරා නගරයේ දී පැවැත්වේ. එය “යහපත් දිවි පෙවෙතක් සඳහා නව ලෝක රටාවක්”, යන්න තේමා කොට ගෙන තිබේ.


    ජී 77 සාමාජික රටවල රාජ්‍ය නායකයෝ විශාල පිරිසක් සහ ඉහළ පෙළේ නියෝජිතයෝ ඊට සහභාගී වෙති. ජී 77 වත්මන් සභාපති හා බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපති ජෝන් ඩබ්ලිව්. ඈෂ් මහතා ද ඔවුන් අතර වෙති.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා බොලීවියා හි චාරිකාවක නිරත වන ප‍්‍රථම ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයා වේ.


    ජී 77 නමින් ප‍්‍රචලිත ”77 කණ්ඩායම සහ චීනය” යන නිල නාමයෙන් හැඳින්වෙන සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික සංවර්ධනය වන රටවල සන්ධානයකි. එය සාමාජික රටවල සාමූහික ආර්ථික අභිලාෂයන් ප‍්‍රවර්ධනය, එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත සියලු ප‍්‍රධාන අන්තර්ජාතික ආර්ථික විෂයයන් සම්බන්ධ සාකච්ඡාවල දී ඒකාබද්ධ ස්ථාවරයක සිට ක‍්‍රියා කිරීම සහ සංවර්ධනය උදෙසා දකුණු-දකුණු සහයෝගිතාව ප‍්‍රවර්ධනය අරමුණු කොටගනී.


    ජිනීවා හි පැවති වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ (අන්ක්ටාඩ්) ප‍්‍රථම සැසිවාරය අවසන නිකුත් කළ “සංවර්ධනය වන රටවල් 77 ඒකාබද්ධ ප‍්‍රකාශනය” මගින් 1964 ජුනි 15 වැනි දා 77 කණ්ඩායම පිහිටුවා ගනු ලැබීය.  එය එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත ක‍්‍රියාත්මක සංවර්ධනය වන රටවල විශාලතම අන්තර් ආණ්ඩු සංවිධානය ද වන්නේ ය. ආරම්භක සාමාජිකත්වය රටවල් 77ක් වූ අතර, දැන් එය 133 දක්වා වැඩි වී තිබේ. ශ‍්‍රී ලංකාව ජී 77 ආරම්භක සාමාජිකයෙකි. මෙවර නායක සමුළුව සමග කණ්ඩායමේ 50 වැනි සංවත්සරය ද යෙදී තිබේ.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා 15 වැනි දා නායක සමුළුව අමතයි. එතුමා සමුළුවට සහභාගී වන සෙසු රාජ්‍ය නායකයන් ගණනාවක් සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට ද නියමිත යි.
     

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක්ව සිටිති.   


    HC/PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya