අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා කරච්චි නුවර ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හෙළා දකී

    ජූනි 11, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා වෙත පණිවිඩයක් යවමින් ඉරිදා රාත‍්‍රී කරච්චි නුවර ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපළට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය තදින් හෙළා දැක තිබේ.


    ආරක්‍ෂක හමුදා සාමාජිකයන් සහ ගුවන් තොටුපළ සේවකයන් කිහිප දෙනෙකු මරණයට පත් කරමින් සිදු කළ ප‍්‍රහාරය සාපරාධී ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස හඳුන්වන එතුමා පුවත ඇසීමෙන් තමා බලවත් කම්පනයට පත් වූ බව සඳහන් කරයි.


    දශක තුනකට ආසන්න කාලයක් ත‍්‍රස්තවාදයේ ගොදුරක්ව පැවති ශ‍්‍රී ලංකාවට පාකිස්ථානය මුහුණ දුන් බියකරු අත්දැකීම තේරුම් ගත හැකි බව පවසන ජනාධිපතිතුමා ප‍්‍රහාරයෙන් විපතට පත් වූවන් පිළිබඳව තමාගේත් ශ‍්‍රී ලංකා ජනතාවගේ සහ රජයේත් බලවත් සංවේගය පාකිස්ථාන රජය වෙත පුද කර සිටී.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා අග‍්‍රාමාත්‍ය මුහමද් නවාස් ෂරීෆ් මැතිතුමා වෙත යැවූ සම්පූර්ණ පණිවුඩය මෙසේය.


    අග‍්‍රාමාත්‍යතුමනි,


    ආරක්‍ෂක හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය සේවකයන් කිහිප දෙනෙකු මරණයට පත් කරමින් ඉරිදා රාත‍්‍රී කරච්චි නුවර ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපලට එල්ල වූ සාපරාධී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය ගැන දැන ගැනීමෙන් මම බලවත් කම්පාවට පත් වූයෙමි. අන්තර්ජාතික ගමන් බිමන් සහ වාණිජ්‍ය සඳහා සේවා සලසන වැදගත් යටිතල පහසුකම් විනාශ කොට ව්‍යවසනයක් ඇති කිරීම සඳහා හිතාමතාම කළ මේ ප‍්‍රහාරය දැඩිව හෙළා දැකීමට ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව මා සමග එක්ව සිටිති. දශක තුනකට ආසන්න කාලයක් ත‍්‍රස්තවාදයට ගොදුරුව සිටි ශ‍්‍රී ලංකාවට පාකිස්ථානය මුහුණ දුන් මේ බියකරු අත්දැකීම තේරුම් ගැනීමට පිළිවන.


    විශාල හානියක් සිදුවීම වළක්වා ගනිමින් ගනු ලැබූ පියවර මගින් ප‍්‍රදර්ශනය වූ පාකිස්ථාන ආරක්‍ෂක හමුදාවල වෘත්තීය ප‍්‍රවීණතාව ප‍්‍රශංසා කටයුතු ය. මේ සිදුවීම ගෝලීය සාමය හා ආරක්‍ෂාව උදෙසා සෑම ආකාරයකම ත‍්‍රස්තවාදය සහ එහි විවිධ ස්වරූප මර්දනය කරනු පිණිස තවදුරටත් අන්තර්ජාතික සහයෝගීතාව පුළුල් කිරීමේ කඩිනම් අවශ්‍යතාව පිළිඹිබු කරයි. එසේ හෙයින් ශ‍්‍රී ලංකාවේ අපි, අප රටේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට පාකිස්ථානයෙන් ලැබුණු අනගි සහය ගැඹුරු කෘතඥතාවෙන් යුතුව සිහිපත් කරන්නෙමු. ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දී පාකිස්ථානය සමග අඛණ්ඩව එක්ව සිටින්නී ය.  


    ශ‍්‍රී ලංකාවේ රජය සහ ජනතාව වෙනුවෙන් මම පාකිස්ථාන රජය සහ ජනතාව වෙත අපේ බලවත් ශෝකය පුද කරමි. ඉමහත් වේදනාවෙන් පීඩා විඳින විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සංවේගය බෙදා ගන්නෙමි. අපේ සිතුවිලි සහ යාඥා විපතින් මිදී නැගී සිටීමට උත්සාහ කරන ඔවුන් සහ තුවාල ලැබූවන් සමග ය.


    අග‍්‍රාමාත්‍යතුමනි, මගේ ඉහළම සැළකීම පිළිගන්න.  


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya