අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණු විශ්වවිද්‍යාලයේ සිද්ධීන් පිටුපස රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂ

    ජූනි 06, 2014

    රුහුණු විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධීන් පිටුපස රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂ කිහිපයක් සිටින බව සනාථ වී ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට නම් දේශපාලන අභිමතාර්ථ ළඟාකර ගැනීමට සිසුන් යොදා නොගැනීම හොඳම විසඳුම බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ සහය අපේක්ෂා කරන බව ද පැවසීය.


    පිටස්තර පුද්ගලයන් රුහුණු විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වී සිසුන්ට පහරදී වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධියක් පිළිබඳව කිසිම සිසුවකු හෝ ආචාර්යවරයෙකු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට හෝ මාතර පොලිසියට පැමිණිල්ලක් කර නැති බවත් දැනට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන් කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.


    රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදී සිටින පක්ෂ සිය දේශපාලන අභිමතාර්ථ සපුරා ගැනීම සඳහා සිසුන් යොදා ගැනීම සුදුසු නැති බව අවධාරණය කළ අමාත්‍යවරයා රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ට පිටස්තර පිරිස් පහර දී ඇති බවට වික්‍රමසිංහ මහතා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.


    බාහිර පුද්ගලයෙකු තමාට තර්ජනය කළ බවට එක් ආචාර්යවරයෙකු එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට කළ පැමිණිල්ල පොලිසියට යොමු කර තිබේ. මෙහිදී කිසිදු වාහනයකට පහරදීමක් සිදු වී නැහැ. බාහිර පුද්ගලයන් ගෙන් සිසුන්ට තර්ජන ඇති බව පවසමින් පරිපාලන ගොඩනැගිල්ලට අතුළු වී එහි රැඳී සිටීම නිසා තත්ත්වය පාලනය කිරීමට වැල්ලමඩම සංකීර්ණයේ පීඨ තහනම් කළ බවත් සාමය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනාගේම සහය ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya