මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය කොට්ඨාස මට්ටමින් පැවැත්වීම සඳහා සීමා නිර්ණය කිරීමේ කමිටුවක්

    ජූනි 06, 2014

    ඊළඟ පළාත් පාලන මැතිවරණය කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට හැකි වන පරිදි කොට්ඨාස බෙදා වෙන්කිරීම සඳහා පත්කළ සීමා නිර්ණය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාවේ කෙටුම්පත සකස් කර අවසන් බවත් මේ දිනවල එම කෙටුම්පත 
    සමාලෝචනය කරන බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. 
    අතාවුල්ලා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ඊළඟ ඡන්දයට පෙර කොට්ඨාස සීමා මායිම් නිර්ණය කිරීමේ කටයුතු අවසන් කර ගැනීමේදී ඇති වන ගැටලු ලබන වසරේ අප්‍රේල්, මැයි මාස වන විට විසඳා ගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට අමාත්‍යවරයා සතු බලතල යටතේ පළාත් පාලන ඡන්ද විමසීම වසරකින් කල් දැමීමට හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දුන‍්නේය.

     

    පළාත් පාලන ඡන්ද විමසීම 2015 මුල් කාර්තුවේ පැවැත්වීමට 2012 අංක 22 දරන පනත යටතේ සිදුවන නිසා ඒ සඳහා ආයතනවල කොට්ඨාස බෙදා නිර්ණය කිරීමට සීමා මායිම් නිර්ණය කිරීමේ කමිටුවක් පත් කළේ දැයි මෙහිදී විපක්ෂ නායකවරයා කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා 2012 දෙසැම්බර් 07 වන දින කමිටුව මාස 06ක කාලයක් සඳහා පත්කළ බවද පැවසීය.


    පත්කළ කමිටුව යටතේ දිස්ත්‍රික් කමිටු පත් කළ යුතු නිසා වැඩකටයුතු කරගෙන යාමට තවත් අවස්ථා දෙකකදී කමිටුවට තවත් මාස 9ක කාලයක් ලබා දුන්නේය. මේ වන විට කමිටුවේ වාර්තාව සකස් කර අවසන්ව ඇත. නමුත් කොට්ඨාස මායිම් නිර්ණය කිරීමේදී පළාත් පාලන ආයතනවල දැනට වෙනත් ගැටලු මතු වී තිබේ. සමහර කොට්ඨාසවලට ග්‍රාම නිලධාරී වසම් දෙකක් හෝ තුනක් ඇතුළුවීම, නව ආයතන ස්ථාපිත කරන ලෙසට කෙරෙන ඉල්ලීම් ඉදිරිපත් වී තිබීම ඒවායි. පාදුක්ක, ඉංගිරිය හා දෙල්තොට සඳහා නව ප්‍රාදේශීය සභාවක් පිහිටුවීම, හොරණ නගර සභාවේ සීමා පුළුල් කිරීම උදාහරණ ලෙස සඳහන් කළ හැකියි. මෙම කමිටුව යටතේම එම කටයුතු කරගෙන යාමට පියවර ගන්නා අතර ආයතන 335ක කොට්ඨාස 4000ක් පමණ බෙදා වෙන් කර මායිම් දීම සුළු දෙයක් නොවන බව කී අමාත්‍යවරයා ඕනෑම අවස්ථාවක ඡන්දයකට සුදානම් බව ද සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya