අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමසෞඛ්‍ය උපාධියේ දී ක්‍රෙඩිට් 120ක පදනම අනුගමනය කිරීමට තීරණයක්

    ජූනි 03, 2014

    ජාත්‍යන්තර අධ්‍යාපන ප‍්‍රමිතීන්, නිර්ණායකයන් සහ විද්‍යාත්මක පදනම් සැලකිල්ලට ගනිමින් සමසෞඛ්‍ය උපාධියේදී උපාධි පාඨමාලාවේ ශාස්ත‍්‍රීය අගය (ක්‍රෙඩිට්) 120ක පදනම අනුගමනය කිරීමට තීරණය කෙරේ.


    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශය, පේරාදෙනිය සහ රුහුණු විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සමසෞඛ්‍ය පීඨාධිපති ඇතුළු නියෝජිතයින් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි මෙම තීරණයට එළැඹිණි.


    මෙම තීරණය පිළිබඳ පේරාදෙණිය සමසෞඛ්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය මහින්ද වික‍්‍රමරත්න මහතා ඇතුළු නියෝජිතයින් ද සිය එකඟතාව පළ කර සිටියහ.


    එහෙත් දැනට සමසෞඛ්‍ය උපාධිය පිළිබඳ අධිකරණ තීන්දුවක් ලබා දී ඇති බැවින් අද දිනයේ සාකච්ඡා වූ කරුණු අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුව අධිකරණ උපදෙස් අනුව ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.


    සමසෞඛ්‍ය උපාධිය පිළිබඳ ඉදිරිපත් වී ඇති ගැටලු කෙරෙහි මෙම සාකච්ඡාවේදි දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු අතර එම සාකච්ඡා වූ සියලූ කරුණු පිළිබඳ සමසෞඛ්‍ය සිසුන් දැනුවත් කරන ලෙසද ජනාධිපතිතුමා මෙහිදි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන්නේ ය.


    සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යමින් මහජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.


    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නන්දිමිත‍්‍ර ඒකනායක, ලලිත් දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යන මහත්වරුන් ද පේරාදෙණිය සහ රුහුණු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නියෝජිතයින් ද, පේරාදෙණිය සමසෞඛ්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය මහින්ද වික‍්‍රමරත්න මහතා ඇතුළු නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya