අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති - ඉන්දීය අගමැති ද්විපාර්ශවික සාකච්ඡාවල

    මැයි 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ඉන්දියාවේ නව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද (27) පෙරවරුවේ නව දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූහ. ඉන්දීය අග‍්‍රමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.


    නායකයෝ දෙදෙන අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ ප‍්‍රතිසංවර්ධන ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව ගෙන ඇති පියවර සහ වත්මන් සමගි සන්ධාන ක‍්‍රියාදාමය විස්තර කළේය. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මෝදි මැතිතුමා දෙරටේ ධීවරයන්ගේ ප‍්‍රශ්නය සහ දෙරටේම ධීවරයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සෙවීම පිණිස ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ. ධීවරයන් අතර සාකච්ඡා සහ නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ රැස්වීම් අඛණ්ඩව සිදු කළ යුතු බවට නායකයෝ දෙදෙන එකඟ වූහ.


    සිය දිවුරුම් දීමේ උත්සවයට පැමිණීම ගැන ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ස්තුති කළ අග‍්‍රාමාත්‍ය මෝදි මැතිතුමා, සාක් (දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය) නායකයන් මේ අවස්ථාවට සහභාගී වීම අනාගත සාක් සහයෝගීතාව හා සුහදතාව සඳහා මනා පිටුබලයකැයි පැවසීය. සාක් හවුල කලාපයට ප‍්‍රතිලාභ ගෙන දෙන පොදු විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, ගෝලීය වේදිකාවෙහි සිය ස්ථාවරය පිළිබිඹු කළ යුතු බවත් ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමාගේ අදහස විය.


    අග‍්‍රාමාත්‍ය මෝදි මැතිතුමා පළ කළ අදහස් අගය කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, සාක් ව්‍යාපෘතීන්ගේ සාර්ථකත්වයට ඉන්දියාවේ නායකත්වය තීරණාත්මක බව කීය. සාක් ක‍්‍රියාකාරිත්වය ඉදිරියට ගෙන යාමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එතුමා පැවසීය.


    තමා අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නැයි මෝදි මැතිතුමා කළ ආරාධනය පරිදි ජනාධිපතිතුමා ඊයේ (26) නව දිල්ලි නුවර වෙත ළඟා විය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු, යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනී යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා ද සාකච්ඡාවට සහභාගී වී සිටියහ.


    HC/NP_PS&IMU_

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya