අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නව දිල්ලි නුවරට ළඟා වෙයි

    මැයි 26, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දියාවේ නව අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වී සිටින නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම පිණිස අද (26) පෙරවරුවේ නව දිල්ලි නුවර වෙත ළඟා විය.


    නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපතිතුමා පිළිගන්නා ලද්දේ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ යන මහත්වරුන් විසිනි.


    දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන ලෙස මෝදි මැතිතුමා පසුගිය සතියේ කළ ආරාධනය ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා විසින් පිළිගනු ලැබීය. පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි, භූතාන අග‍්‍රාමාත්‍ය ෂෙරීන් ටොබ්ගේ, නේපාල අග‍්‍රාමාත්‍ය සුෂිල් කොයිරාල සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ ගණනාවක් මේ අවස්ථාවට එක් වෙති.


    අද සවස රාෂ්ට‍්‍රපති භවන්හි දී සිදු කෙරෙන දිවුරුම් දීමේ කාර්යයෙන් පසු ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මැතිතුමා විසින් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පවත්වනු ලැබේ.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා නව දිල්ලි නුවර රැඳී සිටින කාලය තුළ මෝදි මැතිතුමා සහ තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට සැලසුම් කර ඇත.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු, යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනී යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක්ව සිටිති.


    HC/NP_PS&IMU_Pix By : Chandana Perera

    President Rajapaksa Arrives in New Delhi 1

    President Rajapaksa Arrives in New Delhi 2President Rajapaksa Arrives in New Delhi 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya