මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව අද පාර්ලිමේන්තුවට

    මැයි 23, 2014

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හා අමාත්‍යවරයකු වශයෙන් මෙම උත්තරීතර සභාවේ වසර ගණනාවක් අප සමඟ එක්ව සිටිමින් පොදුජන සේවාවෙහි නියැළුණු ප්‍රවීණ දේශපාලඥයෙකු වූ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


    1954 ජූලි 15 දින අනුරාධපුර මහ රෝහලේදී මෙලොව එළිය දුටු බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ දයාබර දෙමාපිය දෙපළ වූයේ රන්බණ්ඩා දිසානායක මහතා සහ නන්දාවතී මැණිකේ දිසානායක මහත්මියයි. අනුරාධපුර, හතරැස්වෙල විද්‍යාලයෙන් හා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමා කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයට ඇතුළත්ව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා තම දැනුම වඩා වර්ධනය කරගත්තේය.
    භද්‍රා ජයනි තිසේරා මෙනෙවිය සමඟින් යුගදිවි ගමන් ඇරඹූ දිසානායක මහතා වත්මන් රජයේ අධ්‍යාපන සේවා අමාත්‍ය ධූරය හොබවන දුමින්ද දිසානායක සහ කවින්ද දිසානායක, රවීන්ද්‍ර දිසානායක, අමිල එරන්ද දිසානායක වැනි රටට වැඩදායී උගත්, බුද්ධිමත් දරුවන් සිවු දෙනෙකු මෙලොවට දායාද කළ බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය


    හබරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ තරුණ සංවිධානයේ ලේකම්වරයා ලෙස හැත්තෑව දශකයේදී ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිෂ්ට වූ දිසානායක මහතා 1983 දී කේ.බී. රත්නායක මහතාගේ නිර්දේශය මත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලාවැව ප්‍රධාන සංවිධායක වශයෙන් පත්වීම් ලැබුවේය. එතැන් පටන් වැව් බැඳි රටේ ජනතා සුබසෙත උදෙසා ඇපකැප වූ එතුමා රජරට ගැමි සුවඳ හොඳින් හැඳිනගත් ප්‍රතාපවත් දේශපාලනඥයකු බවට පත්වූයේ නිරායාශයෙනි. 1989දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බිය වද්දමින් පක්ෂය දියාරුකර හැරීමට බලයේ සිටි නායකයන් කටයුතු කරද්දී ගම් මට්ටමින් තම පක්ෂය ගොඩනැගීමට දිසානායක මහතා ගත් උත්සාහය ප්‍රශංසනීයයි. එම භීෂණ සමයේදී තුවක්කුවට පවා මුහුණදෙමින් නුවර කලාවියේ ගම් බිම්වල සැරසරමින් පක්ෂය රැකගැනීමට දැරූ ප්‍රයත්නය සුළුපටු නොවේ. මැර බලය රජකළ තෝතැන්නක් වූ කලාවැවදී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් එතුමා සිදුකළ මෙහෙවර කිසිදු දිනෙක අමතක කළ නොහැකි යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    1989 මහ මැතිවරණය සමයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඡන්ද රැස්වීමක් පවා තැබීමට ඉඩකඩ නොදුන් අවස්ථාවක මරු කටේ රැඳී සිටිමින් එම අභියෝගයන් ජයගත් දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරීපත්ව පළමුවරට මෙම උත්තරිතර සභාවේ අසුන් ගැනීම ආශ්චර්යයකි. එසේ මන්ත්‍රීවරයකු ලෙස පත්ව ප්‍රදේශයේ උන්නතිය උදෙසා අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන ආදී විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් පැසසිය යුතු සේවාවක් සලසමින් ජනතාවගේ සිත් සතන් තුළට පිවිසීමට සමත් වූ එතුමා 1994 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වශයෙන් හා අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වශයෙන් ද කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වැනි භාරදූර වගකීම් බාරගනිමින් කටයුතු කිරීමටද සමත් විය.


    1994 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වශයෙන් තරගකොට වැඩිම මනාපයෙන් දෙවැනිවරටත් මෙම සභාවේ අසුන් ගැනීමට සමත්වූ මෙම මානව හිතවාදී දේශපාලනඥයා එම අවස්ථාවේදී බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ රජයේ කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම්දෙමින් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළේය.


    1997 වසරේදී සමාජසේවා අමාත්‍ය ධූරය භාරගනිමින් විවිධ සමාජ සේවාවන් ක්‍රියාවට නැගූ එතුමා ආබාධිතයන්ට මහල් ගොඩනැගිලිවලට පහසුවෙන් ඇතුළුවීමේ මූලික පියවර ලෙස සමාජ සේවා අමාත්‍යාංශය පිහිටි සෙත්සිරිපායෙහි ප්‍රවේශ පහසුකම් සැලසීම මගින් රටටම ආදර්ශයක් ලබාදුන්නේය. ශ්‍රී ලංකා සමාජ සංවර්ධන ආයතනය හෙවත් ශ්‍රී ලංකා සමාජසේවා විද්‍යාලය සමාජ වැඩ පිළිබඳ උපාධිය ඇතුළු උපාධි ප්‍රදානය කිරීමේ උසස් විද්‍යායතනයක් බවට පත් කිරීමටද පියවර ගත්තේය. නියඟයෙන් පීඩාවට පත්වන ගොවීන් වෙනුවෙන් ස්ථිරසාර පිළියමක් වශයෙන් වගා ළිං, ජල පොම්ප හා බට සැපයීමේ පූර්ණ ආධාර ක්‍රමයක් ඇරඹීමටද කටයුතු කළේය.


    සමාජ සේවා අමාත්‍යවරයා වශයෙන් තවදුරටත් සේවයේ යෙදුනු එතුමා වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ සුභසාධක පනතක් සම්මත කරවීමටද, ආබාධිතයනට සමාන හිමිකම් ලබාදීමටද, ඔවුනට සහන සැලසීම සඳහා ‘ජනසෙත’ නමින් ලොතරැයියක් ආරම්භ කිරීමටද පියවර ගත්තේය. එපමණක් නොව අතුරුදහන් වූවන්ගේ පවුල්වලට වන්දි ලබාදීම, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම, මත් ද්‍රව්‍යලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරවීම හා මුහුදු ඛාදනය හේතුවෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ආධාර ලබාදීම වැනි කාර්යයන් රාශියක්ද එම කාලය තුළ සිදු කළේය.


    1999 දී උතුරු මැද පළාත් සභා මැතිවර‍ණයෙන් ජයගත් එතුමාගේ දයාබර භාර්යාව වූ ජයනි තිසේරා දිසානායක මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ දිසානායක මහතාට මහ ඇමති වශයෙන් පත්වීම සඳහා පළාත් සභාවට ඇතුළුවීමට ඉඩකඩ සළසා දෙමිනි. ඒ අනුව රජරට ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් හා කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත්වූ දිසානායක මහතා එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු භාරගත්තේ මුදල් හා ක්‍රමසම්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන, වාරිමාර්ග, ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික සහ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වශයෙන්ද දිවුරුම් දෙමිනි.


    2004 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබාගනිමින් උතුරුමැද පළාතේ මහ ඇමති තනතුර දෙවැනිවරටත් භාරගත් එතුමා වෙත සන්ධානයේ භාණ්ඩාගාරික තනතුරද එම වසරේදීම හිමිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස 2006 වසරේදී පත්වූ දිසානායක මහතා, එතුමන් වෙත කවර තනතුරක් හිමිවුනද ඒ සෑම තනතුරකටම තමන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය නොපිරිහෙළා ඉටුකිරීමේ සහජ හැකියාවකින් පිරිපුන් කීර්තිමත් දේශපාලනඥයකු විය. ඒ සෑම තනතුරක්ම නිරහංකාරව දරමින් ජනතා ප්‍රසාදය නොඅඩුව ලබාගැනීමටද සමත්කම් දැක්වීය.


    වසර 2008දී තුන්වැනි වරටත් විශාල මනාප සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මහ ඇමති තනතුරට පත් දිසානායක මහතා උතුරු මැද පළාත් සභාවේ නීති, ප්‍රඥප්ති කිහිපයක් සම්මත කොට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ත්‍රිරෝද රථ කාර්යාංශය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පරිසර අධිකාරිය, පළාත් පුස්තකාල මණ්ඩලය, පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය, පළාත් නිවාස සංවර්ධන අධිකාරිය, පළාත් ජන සහ‍න සේවා අධිකාරිය වැනි ආයතන පිහිටුවමින් පළාත්වාසීනට සේවා සැපයීමටත්, තරුණ පිරිසට නව රැකියා අවස්ථා සලසා දීමටත් පෙරමුණ ගත්තේය.


    රජරට විශ්ව විද්‍යාලය පිහිටුවීමේදීත්, එහි වෛද්‍ය පීඨය පිහිටුවීමේදීත් අවශ්‍ය ඉඩම් ලබාදීමට පමණක් නොව, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය පිහිටුවන ලද අවස්ථාවේදීද අවශ්‍ය ඉඩම ලබාදීමටත් එතුමා ගත් වෙහෙස ප්‍රශංසා කටයුතුය. පෞද්ගලිකකරණය හේතුවෙන් වසා දමා අක්‍රීයව පැවති ලංකා පිඟන් සංස්ථාවේ ඇලයාපත්තුව උළු කම්හල නැවත රජය සතුකර ගනිමින් වැඩ අරඹා ප්‍රදේශයේ තැලෙන පෑගෙන පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් කරලීමටද පියවරගත් එතුමා නිවාස හා රැකියා ප්‍රශ්න විසඳාලමින් රජරට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරලීමටද ක්‍රියා කළ යුග පුරුෂයෙකි.


    සමස්ත රජරටටම තර්ජනයක්ව පවතින වකුගඩු රෝගීන් වෙනුවෙන්ම වෙන්වූ ඒකකයක් සහිතව නවීන පහසුකම්වලින් සමන්විත වාට්ටු සංකීර්ණයක් ඇති කරමින් අනුරාධපුර මහ රෝහල වැඩි දියුණු කිරීමත්, ගම් මට්ටමේ රෝහල් 84ක් අලුත්වැඩියා කොට නවීන අංගෝපාංගයන්ගෙන් යුතුව මූලික රෝහල් වශයෙන් ජනතා අයිතියට පැවරීමත් දිසානායක මැතිතුමා අතින් සිදුවූ තවත් සුවිශේෂී ජනතා මෙහෙවරකි.


    ප්‍රදේශයේ දේශපාලනික කටයුතු පිළිබඳව පමණක් නොව ආර්ථික හා සමාජමය කාර්යයන්හිදීත් පෙරමුණ ගනිමින් ක්‍රියා කළ උදාර නායකයෙක් වූ එතුමා ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පසු අනුරාධපුරයේ පවත්වාගෙන ගිය දළදා පෙරහැර ඒ වනවිට නොපැවැත්වෙන බැව් දැක, එය නැවත ප්‍රතිෂ්ඨාපනය කරමින් ජය ශ්‍රී ‍මහා බෝධිය හා අභයගිරි විහාරය මුල්කරගෙන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර වාර්ෂිකව පැවැත්වීම 1997 වසරේදී ආරම්භ කළේය. ආගමික ස්ථාන, ක්‍රීඩා සමාජ හා සමාජ සුභසාධන වැනි විවිධ අංශ කෙරෙහි නිරතුරුවම අවධානය යොමුකළ එතුමා ඒ සෑම අංශයකින්ම තම ප්‍රදේශයේ දියුණුව උදෙසා අවශ්‍ය කටයුතු සැලසූ, සහයෝගය ලබාදුන් උදාර නායකයකු ලෙස ඉතිහාසය හා එක්විය. සමස්ත ශ්‍රී ලංකාවටත්, විශේෂයෙන්ම උතුරු මැද පළාතටත් ශාසනික වශයෙන් හා ජාතික වශයෙන් ඉටුකරන ලද මෙහෙවරට ගරු කිරීමක් වශයෙන් සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයෙන් එතුමා වෙත ‘ශ්‍රී ලංකා ප්‍රසාදනී ජනතා අභිමානී’ ගෞරව සම්මානය පිරිනැමීමෙන් එය තවත් තහවුරුවෙයි.


    පුරා දසක තුනක් තිස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදෙමින්, වසර දහයක් අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස හා වසර දහ තුනක් උතුරු මැද මහ ඇමතිවරයා ලෙස අඛණ්ඩවම සේවාවේ යෙදෙමින් ජනතා හදවත් තුළ ජීවත්වූ දේශපාලනඥයකු වූ එතුමා අභියෝග හමුවේ නොසැළෙමින් නිර්භීතව හා නි‍ර්ලෝභීව කටයුතු කළේ රජරට සදානුස්මරණීය චරිත වූ මෛත්‍රීපාල සේනානායක, කේ.බී. රත්නායක නාමයන් සේම ජනතා සිත් සතන්තුළ සදාකාලිකවම ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් ගොඩනගා ගනිමිනි.


    රජරට ජනතාවටත්, සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටත් එතුමා ඉටුකරන ලද මහඟු සේවාව ඉදිරියට ගෙනයෑම සඳහා එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ වත්මන් රජයේ අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු දරුවන් සමාජයට දායාද කිරීමෙන්ම ඒ බැව් මනාව පැහැදිලි වෙයි.

    ජනතා දුක මනාලෙස තේරුම් ගනිමින් ජනතා හදවත් තුළ ජීවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, කැබිනට් අමාත්‍ය සහ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සුළු කාලයක් ප්‍රතිකාර ලබමින් සිට වසර 59ක් ආයු වළඳා 2013 සැප්තැම්බර් මස 27 වැනි දින මෙලොවින් සමුගත්තේය.


    එවකට දක්ෂිණාංශික බල කඳවුරක්ව පැවති අනුරාධපුර දිස්ත්‍රික්කය ප්‍රගතශීලී දේශපාලන කඳවුරක් බවට පත්කිරීමේ හැරවුම් ලක්ෂය වෙමින්, රජරට පොදු ජන බලවේගය උඩු යටිකුරු කළ, රජරට සංවර්ධනය උදෙසා අනුපමේය සේවාවක නිරතවූ දිසානායක නම්වූ ප්‍රවීණ දේශපාලනඥයා හදිසියේ අප අතරින් වියෝවීම එම පවුලේ පිරිසට පමණක් නොව පක්ෂයටත්, රජරට ජනතාවටත් දරා ගත නොහැකි පාඩුවකි.


    ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකු වූ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැබිනට් අමාත්‍ය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාවටත්, දුමින්ද දිසානායක අමාත්‍යතුමා ඇතුළු පුතුන්ටත්, පවුලේ ඥාතීන්ටත් දන්වා යවන ලෙස යෝජනා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya