මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සාකච්ඡා

    මැයි 22, 2014

    අද (22) උදෑසන ෂැංහයි හි දී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් (Xi Jinping) මැතිතුමා, දැනට දෙරට අතර පවතින සහයෝගීතාවයේ ප‍්‍රගතිය මෙන්ම සහයෝගීතාව වර්ධනය කර ගත හැකි නව ක්ෂේත‍්‍ර පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.


    “චීනයෙන් ශ‍්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන සහයෝගීතාව රටේ වර්ධනය සඳහා වන මාගේ ප‍්‍රතිපත්තීන්ට අනුකූල වීම මට සතුටක්. ඔබ ලබා දෙන සහයෝගය අපි ඉතා අගය කරනවා”, යයි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.


    ශ‍්‍රී ලංකාව වැදගත් හවුල්කරුවෙකු බව පෙන්වා දුන් ජනාධිපති ජින්පින්ග් මැතිතුමා සඳහන් කළේ, 2013 මැයි මාසයේ රාජපක්‍ෂ මැතිතුමාගේ චීන සංචාරයේ දී දෙරට අතර සබඳතා මූලෝපායික සහයෝගීතාවක් ලෙසට වර්ධනය වනු දැකීම තමාට සතුටක් වූ බවයි. ශ‍්‍රී ලංකාව සමග පවතින අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට චීනය බලාපොරොත්තු වන බව ද එතුමා සඳහන් කළේය. එවන් සබඳතාවක දී දෙරට අතර ඉහළ පෙළේ හමුවීම්වල වැදගත්කම ද ජින්පින්ග් මැතිතුමා පෙන්වා දුන්නේ ය.


    “ඔබගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා”, යයි ජින්පින්ග් මැතිතුමා ප‍්‍රසාදය පළ කළේය.


    රාජ්‍ය නායකයෝ දෙපළ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.


    “චීනයේ මුලපිරීමක් වන “සමුද්‍රීය සේද මාවතේ ආර්ථික කලාපය”ට අපි දැඩිව සහයෝගය දක්වන අතර එය ක‍්‍රියාත්මක කිරීමට සහය වෙනවා”, යයි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.


    ශ‍්‍රී ලංකාවේ සහයෝගය අගය කරමින් චීන ජනාධිපතිතුමා සඳහන් කළේ, මෙම මුලපිරීමෙහි වැදගත් හවුල්කරුවෙකු වන ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වැදගත් මෙහෙයක් භාර රටක් බවයි.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලබාදුන් සහයෝගය වෙනුවෙන් චීනයට ස්තුති කළ රාජපක්‍ෂ මැතිතුමා, අපගේ විදේශ ප‍්‍රතිපත්තියේ නොවෙනස් අංගයක් වූ “එක් චීනයක්” ප‍්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වා ගෙන යන බවට සහතික විය. ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දී චීනය සමග සහෝදරත්වයෙන් බැඳී සිටින බවට ද එතුමා පොරොන්දු විය.


    ආරක්‍ෂක සහයෝගීතාව, සංචාරක කර්මාන්තය හා සයිබර් ආරක්‍ෂාව සාකච්ඡුාවට ලක් වූ අනෙකුත් මාතෘකා අතර විය. චීනය සක්‍යතාවක් සහිත සංචාරක වෙළෙඳපොළක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව පෙන්වා දුන් රාජපක්‍ෂ මැතිතුමා, 2016 වන විට චීන සංචාරකයන් 275,000ක් ශ‍්‍රී ලංකාවට පැමිණෙනු දැකීම තම අපේක්‍ෂාව බව ද පැවසීය. සයිබර් ආරක්‍ෂාව පිළිබඳ අදහස් දක්වමින්, රටවල්වල නොසන්සුන්තා ඇති කරමින් සයිබර් අපරාධ පැතිර යන තත්ත්වයක් තුළ එවන් ක‍්‍රියාවන්ට එරෙහිව පූර්වෝපායන් ගැනීමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වන බව කියා සිටියේ ය.


    ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපති ජින්පින්ග් මැතිතුමාට ආරාධනා කරමින් රාජපක්‍ෂ මැතිතුමා පැවසූයේ “ශ‍්‍රී ලංකාවේ සිදු වන ශීඝ‍්‍ර සංවර්ධනය, විශේෂයෙන් චීනයේ නොමසුරු ආධාරයෙන් ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතීන් දැක බලා ගැනීමට එතුළින් නිසැකවම අවස්ථාව හිමිවනු” ඇති බව යි. චීන රාජ්‍ය නායකයෙකු අවසන් වතාවට ශ‍්‍රී ලංකාවේ චාරිකාවේ නිරත වූයේ 1986 දී බව ද රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ආරාධනාවෙහි අවංකභාවය තමාට දැණුනු බව සඳහන් කළ චීන ජනාධිපතිතුමා, හැකි ඉක්මණින් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තමන් ප‍්‍රමුඛත්වය දෙන බව ද පැවසීය. හැකියාවක් තිබුණි නම් ශ‍්‍රී ලංකා දූත පිරිස සමඟ අදම ආපසු ශ‍්‍රී ලංකාවට යාමට තමා කැමති යයි ද එතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු, විදේශ අමාත්‍යාංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    HC/NP_PS&IMU_

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya