අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් මෙතෙක් පැමිණි ජ්‍යේෂ්ඨතම හමුදා දූත පිරිස ජනපති හමුවෙති

    මැයි 17, 2014

    චීනයේ මධ්‍යම මිලිටරි කොමිසමේ උප සභාපති එයාර් චීෆ් මාෂල් සූ ක්විලියැං (Air Chief Marshal Xu Qiliang) මහතා ඊයේ (16) අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු විය.


    චීනය සහ ශ‍්‍රී ලංකාව අතර “උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය” තවදුරටත් තර කිරීම සහ දෙරට හා දෙරටේ සන්නද්ධ හමුදා අතර සබඳතා නව තලයකට නැංවීම සිය චාරිකාවේ අරමුණ බව සූ මහතා පැවසීය.


    ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා “මනා පුහුණුවකින් සහ මනා කළමනාකරණයකින් යුක්ත”යැයි හැඳින්වූ සූ මහතා, චීනය දෙරට අතර මිලිටරි සබඳතා ප‍්‍රමුඛතාවක් සේ සලකන බව කීය. ත‍්‍රස්තවාදය පරාජය කොට කඩිනම් සංවර්ධනයක් අත්කර ගැනීම පිළිබඳව ඔහු ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කළේය.


    “ඔබතුමා විශිෂ්ට නායකත්ව ගුණයෙන් හෙබි ගෞරවාදරයට පාත‍්‍ර වූ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු බව අප සියලු දෙනා දන්නවා. ත‍්‍රස්තවාදය පරාජය කළ ඔබ ශ්‍රේෂ්ඨ වීරයෙක්. එල්ටීටීඊ ය සමග සටනින් ඔබ අත්කර ගත් සාර්ථකත්වය මෙන්ම යුද්ධයෙන් පසු රට නැවත ගොඩනැගීම අප අගය කරනවා. ගැටුම අවසන් වී පස් වසක් වැනි කෙටිකලක් ඇතුළත ජනතාව සාමයෙන් ජීවත්වනු දක්නට පිළිවන්. ඔවුන් සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය භුක්ති විඳිනවා. මෙය නිසැකවම ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්”, සූ මහතා සඳහන් කළේය.


    අන්තර්ජාතික සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව චීනයට දිගටම සහය දෙන බවට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සහතික විය. “එක් චීනයක්” පිළිබඳ ප‍්‍රතිපත්තිය සහ දකුණු චීන මුහුද ආශ‍්‍රිත තත්ත්වයන් එතුමා ඊට නිදසුන් ලෙස දැක්වීය. “චීනය පිළිබඳ අපේ ප‍්‍රතිපත්ති කිසිවිටෙකත් වෙනස් වී නැහැ. ඉදිරියටත් වෙනස් වන්නේ නැහැ. අපේ ස්ථාවරය ඉතා පැහැදිලියි”, ජනාධිපතිතුමා පැවසීය.


    ත‍්‍රස්තවාදය පරාජය කිරීමටත්, යටිතල පහසුකම් හා ආර්ථික සංවර්ධන ක්ෂේත‍්‍රවල මෙන්ම අන්තර්ජාතික වේදිකාවල දීත් ලැබුණු සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා චීනයට ස්තුතිය පුද කළේය. “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී අපට දැක්වූ සහයෝගය ගැන ඔබේ රජයට සහ ජනතාවට අප කෘතඥ විය යුතුයි”, රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය.


    චීනයේ සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවන් අතර මිත‍්‍රත්වය වසර 2,000 ක් තරම් පැරණි දිගුකාලීන එකක් බව කී සූ මහතා, මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීම චීනයේ අපේක්‍ෂාව යයි පැවසීය. “ජනතාව අතර සංස්කෘතික සහ මානුෂීය බැඳීම් බිඳ දැමීමට නොහැකියි. මේ මිත‍්‍රත්වය ඔවුන්ගේ හදවත්වලට දැනෙන අතර මුහුණුවලින් පිළිබිඹු වෙනවා. අපේ ජනතාවන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් අත්කර දීම අපේ පොදු අපේක්‍ෂාවයි”, ඔහු වැඩිදුරටත් පැවසීය.


    අද ජනාධිපතිතුමා හමු වූයේ චීනයෙන් ශ‍්‍රී ලංකාවට මෙතෙක් පැමිණි ජ්‍යේෂ්ඨතම මිලිටරි දූත පිරිස බව තානාපති කාර්යාල නිලධාරීහු සඳහන් කළහ. ශ‍්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියෑංහා ඕ මහතා සහ විශාල මිලිටරි දූත පිරිසක් සූ මහතා සමග වූහ.


    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කේ.ඒ. ගුණතිලක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


    2HC/NP_PS&IMU_pix by Sudath Silva

    Chinas Highest Military Delegation Calls on President Rajapaksa 1

    Chinas Highest Military Delegation Calls on President Rajapaksa 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya