මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නයිජීරියාවේ බෝකෝ හරාම් ත‍්‍රස්තවාදීන් ශිෂ්‍යාවන් පැහැර ගැනීම ජනාධිපතිතුමා හෙළා දකී

    මැයි 13, 2014

    නයිජීරියාවේ බෝකෝ හරාම් කණ්ඩායම ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැර ගෙන යාම හෙළා දකිමින් සහ නයිජීරියානු රජයට සහය පළ කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නයිජීරියානු ජනාධිපති ආචාර්ය ගුඩ්ලක් ජොනතන් මැතිතුමා වෙත පණිවිඩයක් යවා තිබේ.


    සම්පූර්ණ පණිවිඩය මෙසේය.


    අතිගරු ආචාර්ය ගුඩ්ලක් ජොනතන්
    නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ජනාධිපති


    මැතිතුමනි,


    බෝකෝ හරාම් ත‍්‍රස්තවාදී කණ්ඩායම ඊසාන දිග නයිජීරියාවේ චිබොක් (Chibok) නගරයේ නේවාසික පාසලකින් ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැර ගෙන ගොස් දැන් මසක් පමණ ගත වී තිබේ. මම බලවත් සිත් වේදනාවකින් යුතුව මේ තත්ත්වය ගැන විමසිල්ලෙන් පසුවීමි. ශ‍්‍රී ලංකා රජය, ලෝක හෘදය සාක්‍ෂිය කම්පනයට පත් කළ හා විශ්ව පිළිකුළට පාත‍්‍ර වූ මේ බියගුළු ක‍්‍රියාව හෙළා දකී.


    මේ සිදුවීම, ලෝකයේ කුරිරුතම ත‍්‍රස්තවාදී සංවිධානය ලෙස හඳුන්වන ලද එල්ටීටීඊය රජයට එරෙහිව සටන් වදින ලෙස බල කරමින් සිය “ළමා බලකායට” බලහත්කාරයෙන් ළමයින් බඳවා ගැනීමට ක‍්‍රමානුකූල ව්‍යාපාරයක් ගෙන ගිය ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ අතිශය අවමන් සහගත පරිච්ඡේදයක් සිහි ගන්වයි. ඒ කාලවකවානුවේ දී ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවේ තරුණ ජනයාගේ සියලු අයිතිවාසිකම් පැහැර ගත්තේ ය. මගේ රජයේ විධිමත් ක‍්‍රියාකලාපය මගින් ඒ සියලු අයිතිවාසිකම් දැන් යළි තහවුරු කොට තිබේ.


    ශ‍්‍රී ලංකාව තනිවත්, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූරය හොබවන රාජ්‍යය ලෙසත් ත‍්‍රස්තවාදයට ගොදුරු වූ මේ අහිංසකයන් ඔවුන්ගේ පවුල් වෙත සුරක්‍ෂිතව යළි භාරදීම සඳහා ගන්නා අනවරත උත්සාහයේ දී නයිජීරියානු රජයට සහ ජනතාවට අචල සහයෝගය පළ කර සිටී.


    බෝකෝ හරාම් කණ්ඩායම මෙසේ ගැහුණු ළමයින් පැහැර ගැනීම නින්දනීය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකි. ඊට වගකිව යුතු අයට දඬුවම් නොලැබ බේරීයාමට ඉඩ නොතැබිය යුතු ය. සෑම ආකාරයකම ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අන්තර්ජාතික ප‍්‍රජාව තීරණාත්මක හා විධිමත් ප‍්‍රයත්නයක් දැරීමේ හදිසි අවශ්‍යතාව මේ සිදුවීමෙන් පැහැදිලිව ප‍්‍රදර්ශනය කෙරෙයි.


    මේ වේදනාකාරී මොහොතෙහි මගේ සහ මගේ ජනතාවගේ සිතිවිලි සහ ප‍්‍රාර්ථනා ඔබ සහ නයිජීරියානු ජනතාව සමග ය. නයිජීරියානු ජනතාවගේ දරා ගැනීමේ ශක්තිය සලකන කළ ගැහැණු ළමයින් පිරිස සුරක්‍ෂිතව නිවෙස් වෙත ගෙන ඒමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි.


    ජනාධිපතිතුමනි, මගේ ඉහළම සැලකිල්ල කරුණාකර පිළිගන්න.


    මහින්ද රාජපක්‍ෂ
    2014 මැයි මස 13 වැනි දින                             
    ශ‍්‍රී ලංකා ජනාධිපති

     

    HC/NP_PS&IMU

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya