අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සියලු සහන සලසනවා - ජනපති

    මැයි 12, 2014

    අනුරාධපුර, පොලොන්නරු දිස්ති‍්‍රක්කවල පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය සියලු සහන සැලසීමට රජය මේ වන විට වැඩපිළිවෙළ සකසා ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (12) පෙරවරුවේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවසීය.


    රටේ සියලු ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිලාභ ලබා දිය යුතු බවත් වියළි කලාපයේ ජනතාව වකුගඩු රෝගයෙන් බේරා ගැනීමටද සියලු පාර්ශවයන් කැප විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ අද පැවැත්වුණු ජාතික හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.


    හෙද සේවාවේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනියගේ ජන්ම දිනය ද අද වන අතර ඊට සමාගමීව සෑම වසරකම මැයි 12 වැනිදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම් කර තිබේ.


    ජාත්‍යන්තර හෙද දිනය සැමැරීමේ ජාතික උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.


    තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ අනන්‍යතාවන් ආරක්ෂා කර ගන්නා අතරම රටේ ජනතාව බලාපොරොත්තුවන සේවය නිසි ලෙස ඉටු කිරීම සියලු වෘත්තිකයින්ගේ වගකීම බව එම උළෙල අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.


    කිසිවෙකු ජනතාවගේ විරෝධයට සහ ක්‍රෝධයට ලක් විය යුතු නැති බව පැවසු ජනාධිපතිතුමා සිය සේවය මැනවින් ඉටු කර ජනතා ගෞරව දිනා ගැනීම සියලුදෙනාගේ වගකීම බවද කියා සිටියේ ය.


    වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ජීවිත පරදුවට තබා අරගල කිරීමට සිදු වු යුගය වත්මන් රජය නිමා කළ බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බාධකයකින්, තර්ජනයකින් තොරව රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට වත්මන් රජය කටයුතු කළ බවද පැවසීය.


    ඉතිහාසයේ කිසිදා නොවූ තරමට අද හෙද සේවය ශක්තිමත් කර ඇති බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීමට හැකි උපරිමයෙන් රජය කටයුතු කර ඇති බවත් පැවසූ ජනාධිපතිතුමා අද ඔවුන් රටත්, ජනතාවත් සඳහා වූ තම වගකීම් හඳුනාගෙන කටයුතු කළයුතු බවද කියා සිටියේ ය.


    හෙද හෙදියන් පන්දහසකට අධික පිරිසක් මීට සහභාගී වී සිටි අතර, "හෙදිය වනාහි වෙනසකට ශක්තියකි, සෞඛ්‍යයට අත්‍යවශ්‍ය සම්පතකි", යන්න මෙවර තේමාව විය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට හෙද සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටු කරන මෙහෙවර උදෙසා හෙද සංගම් නියෝජිතයින් විසින් එතුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීමද මෙහිදී සිදු විය.


    එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ ද, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහත්වරුන් ද දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.


    HC/priu_Pix by: Sudath Silva

    International Nurses Day under President patronage 1

    International Nurses Day under President patronage 2

    International Nurses Day under President patronage 3

    International Nurses Day under President patronage 4

    International Nurses Day under President patronage 5

    International Nurses Day under President patronage 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya