අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය අගයයි

    මැයි 07, 2014

    15 වැනි ලෝක තරුණ සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වීමට පැමිණි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඩබ්ලිව්. ඈෂ් (Dr. John W. Ashe) මහතා අද (07) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.


    ශ‍්‍රී ලංකාව මෑතභාගයේ දී අත්කර ගෙන ඇති ප‍්‍රගතිය ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේ දී ඔහු අගය කළේය.


    “රටේ සිදුව ඇති සංවර්ධනය අප දැක ගත්තා” මහා මණ්ඩල සභාපතිවරයා කීය. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ඊයේ හම්බන්තොට දී ලෝක තරුණ සමුළුව ආරම්භ කරමින් කළ කතාව ඔහුගේ ප‍්‍රසාදයට ලක් විය.


    තිස් වසරකට ආසන්න ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳි ශ‍්‍රී ලංකාව ගැටුම් අවසන් වීමෙන් පසු අත්කර ගෙන ඇති ප‍්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිතුමා, දැන් රටේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය 7%ක් බව පෙන්වා දුන්නේ ය. උතුරු පළාතේ එය 22%කි. “ශ‍්‍රී ලංකාව චීනයට පසු ආසියාවේ ඉහළම වර්ධනයක් සහිත රටවල් කිහිපයෙන් එකක් යැ”යි ජනාධිපතිතුමා පැවසීය.


    ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු හිටපු සටන්කරුවෝ 12,000ක් පමණ පුනරුත්ථාපනය කොට සමාජගත කරනු ලැබූහ. සියලු ළමා සෙබළු ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර කෙරිණ. මහා මාර්ග, දුම්රිය මාර්ග, වාරිමාර්ග වැනි යටිතල පහසුකම් විශාල ලෙස සංවර්ධනය කර ඇති බවත්, සෞඛ්‍යය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කළ බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.


    වර්තමානයේ දී වැඩිම සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන වරම් ලබනුයේ යාපනය දිස්ත‍්‍රික්කයෙන් බව රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේය. 2005 දී ජනගහනයෙන් 3% ක් වූ පරිගණක සාක්ෂරතාව දැන් 50% දක්වා වැඩි වී ඇතැයි එතුමා කීය.


    රටට එල්ල වන අනිසි බාහිර බලපෑම් ප‍්‍රගතියට බාධාවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. “ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගිහින්. ශ‍්‍රී ලංකාව සුබසාධන සමාජයක්”, එතුමා කීය.


    ආචාර්ය ඈෂ් මහතා සමග පැමිණි දූත පිරිසේ සාමාජිකාවක් ශ‍්‍රී ලංකාවේ සමාජ ජීවිතයේ කාන්තා සහභාගීත්වය ගැන විමසූ විට අධ්‍යාපනය, සෞඛ්‍යය, බැංකු සේවාව ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක කාන්තා සහභාගීත්වය 60%ක් හෝ ඊට ඉහළ මට්ටමක පවතින බව ජනාධිපතිතුමා පැවසීය. දේශපාලනයෙහි පමණක් තවම ඒ තත්ත්වය දක්නට නැතැයි ද එතුමා කීය.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානී තානාපතිනී පොලට් බෙතල් (Paulette Bethel) මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් ආචාර්ය ජෝන් ඈෂ් මහතා සමග පැමිණ සිටියහ.


    නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සාකච්ඡාවට සහභාගී වූහ.


    HC/NP_PS&IMU_Pix By : Sudath Silva

    President of UNGA Call on President Rajapaksa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya