අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇෆ්ගනිස්ථානයේ භූමි කම්පාව ගැන ජනාධිපතිතුමා ශෝකය පළකරයි

    මැයි 06, 2014

    ඇෆ්ගනිස්ථානයේ බදක්ෂාන් ප‍්‍රාන්තයේ හොබෝ ගම්මානයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් සිදු වූ බලගතු හානිවලට මුහුණ දී සිය ජීවිත යථා තත්ත්වයට ගෙන ඒමට ඇෆ්ගන් ජනතාවට ධෛර්යයක් සහ අධිෂ්ඨානයක් තිබෙන බව මට විශ්වාස යැයි ඒ සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් ඇෆ්ගනිස්ථාන ජනාධිපති තුමා වෙත යවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

     

    එම පණිවුඩය සම්පූර්ණයෙන් පහත පළ වේ.

     

    ඇෆ්ගනිස්ථාන් ජනපදයේ ජනාධිපති අතිගරු හමීඞ් කර්සායි මැතිතුමා ජනාධිපතිතුමනි,


    බලවත් ජීවිත හා දේපළ හානි සිදු කරමින් බදක්ෂාන් ප‍්‍රාන්තයේ හොබෝ ගම්මානයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් මම බලවත් ශෝකයට පත්වූයෙමි.


    නායයෑමෙන් සිදු වූ මරණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ද මම පුද්ගලිකවම ද දැඩි සංවේගය පළ කරමි. මෙම ස්වාභාවික ව්‍යසනයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි.


    මිනිස් ජීවිතයට සිතිය නොහැකි තරම් හානි සිදුවන මෙවැනි ස්වාභාවික ආපදාවන් ඒවාට මුහුණදීමට ඇති මානුෂික ශක්තිය පිළිබඳ පරීක්ෂණයක් ද වේ. පසුගිය මාර්තු මස ශී‍්‍ර ලංකාවේ නිල චාරිකාවක යෙදුණ අවස්ථාවේ දී අභියෝගවලට මුහුණ දී සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ඇෆ්ගන් ජනතාවට ඇති ශක්තිය හා අධිෂ්ඨානය ගැන ඔබතුමා කළ සඳහන මට සිහිපත් වේ. මෙම විපතින් සිදු වූ බලගතු හානිවලට මුහුණ දී සිය ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට ඇෆ්ගන් ජනතාවට ධෛර්යයක් සහ අධිෂ්ඨානයක් තිබෙන බව මට විශ්වාස ය.


    මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඔබත් ඇෆ්ගන් ජනතාවත් සමග අපේ සිතුම් පැතුම් බෙදා ගන්නෙමු.


    මැතිඳුනි, මාගේ ඉහළම ගෞරවාදරය පුදකරමි.


    මහින්ද රාජපක්ෂ
    2014 මැයි මස 06 වැනි දින


    HC/PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya