මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය මගින් ලබාදෙන සහනාධාර කප්පාදු කරන්නේ නෑ Featured

    අගෝස්තු 26, 2014
    ආර්ථික වශයෙන් පුද්ගලයා ශක්තිමත් වන තුරු රජය මගින් ලබාදෙන සහනාධාර සහ නිසි මාර්ගෝපදේශනය කිසිසේත් ම කප්පාදු නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.
     
    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සහ මහජන හිතවාදී ප්‍රතිපත්තිය විවේචනය කරන ඇතැමුන් සමස්ත රජයම විවේචනය කළත්, ඒ කිසිවකට නොසැලෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා කීවේය.

    කුඩා තේ වතු හිමියන් වෙත පාංශු සහ ජල සංරක්ෂණ කටයුතු සඳහා සහනාධාර ප්‍රතිලාභ පිරිනැමීම නිමිත්තෙන් අද (26) පෙරවරුවේ ගම්පොළ, ජාතික උරුමය මධ්‍යස්ථානයේ දී පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

     ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශයන්හී ප්‍රතිලාභීන් අටසීයක් සඳහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් බෙදාදීම මේ යටතේ සිදු කෙරිණ.  ප්‍රතිලාභී කුඩා තේ වතු හිමියන් සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ උත්සවය ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා තවදුරටත් මෙසේ පැවසීය. “වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මා කටයුතු කළ සමයේ දී කුඩා වැවිලි කර්මාන්ත දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් දියත් කළා.  කුඩා කර්මාන්ත දියුණු කිරීම මගින් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දියුණු කළ හැකියි. ජනතාව වෙත සහනාධාර රැසක් ලබා දුන්නත්, ඇතැමුන් රජයේ වැඩපිළිවෙළ නිරන්තරයෙන් විවේචනයට ලක් කරනවා.  නමුත් කවුරු කුමක් කීවද ජනතාව වෙත ලබාදෙන සහනාධාර කිසිසේත් ම කප්පාදු කිරීමට අප රජය කටයුතු කරන්නේ නැහැ. රජයක් වශයෙන් ජනතාව සමෘද්ධිමත් කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.  ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙන්ම, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කටයුතු කරන බව මෙහිදී සිහිපත් කළ යුතුයි. අද ඇතැමුන් රජයේ කෘෂිකාර්මික වැඩපිළිවෙළ ද විවේචනය කරනවා. නමුත් ඒ කිසිවකට අප රජය කම්පා නොවන බව” අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී අදහස් දක්වමින් “කාලගුණික සහ දේශගුණික හේතු මත අද විශාල වශයෙන් කෘෂිකාර්මික වගාවන්ට හානි සිදු වෙනවා. තේ වගාවට සිදුවන හානි අවම කිරීමේ අපේක්ෂාවෙන් පාංශු සංරක්ෂණය සඳහා විශාල මුදලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙන් කළේ කුඩා තේ වතු හිමියන් දියුණු කිරීම උදෙසායි. මෙරට තේ වගාවෙන් 76%ක් කුඩා තේ වතු හිමියන් නියෝජනය කරනවා. අද මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක කුඩා තේ වතු කැබලි 31,000ක් පමණ සංරක්ෂණය කිරීම සඳහා මූල්‍යාධාර ලබා දෙනවා. කුඩා තේ වතු හිමියන් සංගම් වශයෙන් ශක්තිමත් වී සිටීම අප මහත් සේ ඇගයීමට ලක් කරනවා.  ‍ඔවුන් ශක්තිමත් වී සිටීම මගින් තේ වගාවට සිදුවන ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබා ගැනීමේ හැකියාව ඔවුන් වෙත පැවරී තිබෙනවා. 

    ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කරන ප්‍රධාන වෙළඳපළ තුනක් ජාත්‍යන්තර වශයෙන් අර්බුදයට ලක් වී තිබුණත්, ජනාධිපතිතුමා එහිදී තේ නිෂ්පාදකයන්ට අසාධාරණයක් වීමට ඉඩ දුන්නේ නැහැ. තේ කර්මාන්තය පමණක් නොව, වී, අල, බඩ ඉරිඟු, ලොකු ලූනු ආදී කෘෂිකාර්මික නිෂ්පාදන ද, සෙසු කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම, කාර්මික ආදී නිෂ්පාදනයන් ද ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඒ අයුරින්ම මැදිහත් වුණා. යුද්ධයෙන් අනතුරුව මේ රටේ සුවිශාල සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන අතර, ඊට සමගාමීව සෞඛ්‍ය, අධ්‍යාපන, වෙළඳාම ආදී ප්‍රධාන ක්ෂේත්‍රයන් දියුණු කිරීමට ද අප රජය කටයුතු කරනවා” යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් පැවසීය. 
     
    කුඩා තේ වතු හිමියන් සඳහා මූල්‍යාධාර ලබාදීම නිමිත්තෙන් පැවති උත්සවය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නොඑල් පද්මසිරි කාරියවසම් මහත්වරුද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දමිතා ද සොයිසා මහත්මීය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.  
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya