අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “උත්තම ශ්‍රම පූජා” සමස්ත රාජ්‍ය සේවයට කළ උපහාරයක්

    අගෝස්තු 21, 2014
    රාජ්‍ය සේවකයින් රටේ සංවර්ධනය උදෙසා සිදුකරන අතිවිශාල සේවයට සහ කැපවීමට සිදුකරන ප්‍රතිඋපකාරයක් ‍ලෙස ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍ය මෙන් ම පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති උත්තම ශ්‍රම පූජා වැඩසටහන සමස්ත රාජ්‍ය සේවයටම කළ උපහාරයක් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

     රාජ්‍ය සේවකයන් යහපත් ශාරීරික හා මානසික මට්ටමකින් සිටීම නිසා මහජනතාවට උසස් සේවයක් ලබාගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව ද එය ජාතියක් ලෙස නැගී සිටීමට බෙහෙවින් ඉවහල් වන බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     රාජ්‍ය සේවාවේ නියුතු කාර්ය මණ්ඩලයන්හි සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ඔවුන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා තෘප්තිමත් පිරිසක් බවට පත්කොට කාර්යක්ෂම, ඵලදායී රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා ජාතික පෝෂණ ලේකම් කාර්යාලය එක්ව ආරම්භ කර ඇති උත්තම ශ්‍රම පූජා වැඩසටහන පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දී පැවති අවස්ථාවේ එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා එම අදහස් පළ ක‍ළේය. 
     
    සියලු ම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්තම ශ්‍රම පූජා වැඩසටහන සඳහා එම අමාත්‍යාංශයේ 300ක් පමණ වන සේවක සේවිකාවෝ දැඩි උද්‍යෝගයකින් සහභාගි වූහ.
     
     එහි දී දෘෂ්ටි, ශ්‍රවණ, දන්ත හා රුධිර යන පරීක්ෂාවන් ද නොමිලේ පැවැත්වූ අතර සෞඛ්‍ය හා පෝෂණ ප්‍රදර්ශනයක් පවත්වනු ලැබීය.

     මීට අමතරව වෛද්‍ය උපදෙස් ලබාදීම, යහපත් හා යෝග්‍ය සෞඛ්‍ය පුරුදු ඇති කිරීම සඳහා ඔවුන්ගේ දැනුම කුසලතා හා අත්දැකීම් වර්ධනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් මෙම වැඩසටහන යටතේ සිදුකෙරිණි.

     ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්තම ශ්‍රම පූජා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා. “ ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න හා තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් හරහා මෙරට කාන්තාවන්ගේ මෙන්ම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ජනාධිපතිතුමන් හඳුන්වා  දුන් මෙම වැඩසටහන ඉවහල් වෙනවා. කාර්ය බහුලත්වය නිසා රාජ්‍ය සේවකයා තුළ ඇතිවන මානසික ආතතිය දුරුකිරීමටත් මෙම වැඩසටහන ඉවහල් වන බව විශ්වාසයි.

     ඒ වගේම මෙරට සංස්කෘතිය හා බැඳී තිබූ විධිමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව අනුගමනය කිරීම තුළින් දැනට සමාජයේ තිබෙන රෝගාබාධ විශාල ප්‍රමාණයකින් වැළකිය හැකියි. විශේෂයෙන් රාජ්‍ය සේවකයාගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමට ගෙන ඒමට දිනපතා ජාතික ගීය ගායනා කිරීමෙන් පසු විනාඩි පහක පමණ කාලයක් භාවනා කිරීමට යොමුකළ යුතුයි.” ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා ද මෙහි දී අදහස් දැක්වීය. 
     
    මේ අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවෝ එක් ව සිටියහ.

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya