අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීම සිදු කෙරේ

    අප්‍රේල් 01, 2014

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලියේ සැලකිය යුතු ප‍්‍රගතියක් 2014 මාර්තු මාසය තුළ අත්පත් කර ගන්නා ලදී.

     

    බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක් ම මේ වනවිටත් ඒකාබද්ධවීම්/අත්පත් කර ගැනීම් සඳහා ගැළපෙන පාර්ශවයන් හඳුනාගෙන ඇති අතර, එම ආයතන පිළිබඳ අභ්‍යන්තර ඇගයීම් සිදුකරමින් සිටී. ශ‍්‍රී ලංකා මහ බැංකුව බැංකු සහ මූල්‍ය සමාගම් කිහිපයක් අතර සිදුවිය හැකි ඇතැම් ඒකාබද්ධවීමේ කටයුතු සඳහා ප‍්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබේ. මේ අතර නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක්, පීඑල්සී සහ ඩීඑෆ්සීසී බැංකුව ඔවුන්ගේ ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.


    මෙම ආයතනවල යථා තත්ත්ව පරීක්ෂණ හා තක්සේරුකරණය සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද විගණන ආයතන ඔවුන්ගේ වාර්තාවන් පිළියෙල කරමින් සිටිති. එම කටයුතු නිසි කාලයට නිම කිරීම තහවුරු කිරීමට, යථා තත්ත්ව පරීක්ෂණ හා තක්සේරුකරණ ක‍්‍රියාවලියට අදාළව මතුවන කරුණු පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුව එම විගණන ආයතන සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණය කරනු ලැබේ.

     

    මේ අතර ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට නව ප‍්‍රාග්ධනය එක් කිරීමට උපක‍්‍රමික ආයෝජකයන් කිහිප දෙනෙකුම තම කැමැත්ත පළ කර ඇති අතර, එවැනි ආයෝජන එම ආයතනවල ශේෂ පත‍්‍රයන් ශක්තිමත් කරන අතර ම එම ආයතනවලට තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අවස්ථාව සලසනු ඇතැයි බලාපොරොත්තු වේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙවැනි උපක‍්‍රමික ආයෝජන සඳහා ද ප‍්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇත.

     

    ශ‍්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධකරණ ක‍්‍රියාවලියට සම්බන්ධිත කොටස්කරුවන් සියලුදෙනා සමඟ සමීප සංවාදයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලද අතර, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ විවිධ සාකච්ඡා මණ්ඩපවලට සහභාගි වෙමින් ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලියට අදාළ විවිධ කරුණුවලට පැහැදිලි කිරීම් ලබාදෙන ලදී.


    ශ‍්‍රී ලංකා මහ බැංකුව මේ වනවිටත් ප‍්‍රකාශයට පත්කර ඇති 2014 මාර්තු 31 දින කාල රාමුවට අනුකූල වෙමින්, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒකාබද්ධ වීම හා මෙරට ආර්ථික කටයුතු වලට වැඩි වැඩියෙන් සම්බන්ධවීම පිළිබඳ තම පුළුල් යෝජනා භාරදීම පසුගිය දින කිහිපය තුළ ආරම්භ කර තිබේ.මෙම යෝජනා ඉදිරි සතිය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සමාලෝචනය කරනු ලැබීමට නියමිත අතර, ඉන් අනතුරුව සුදුසු ප‍්‍රතිචාරයන් ලබාදෙනු ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya