අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල - හින්දු අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා

    මාර්තු 27, 2014
    එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුදු සමයට සමගාමීව අන්තර් පළාත් ප්‍රවාහන සේවා සැපයීම සම්බන්ධයෙන් විශේෂ සාච්ඡාවක් සේවා සැපයීමට අදාළ සියලු ම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ජාතික ගමනාගමන කොමිෂම් සභාවේදී පැවැත්විණි.
     
     
    ප්‍රවාහන අමාත්‍යංශය, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්,  ශ්‍රී ලංකා පොලිසිය,  ජලසම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව යන ආයතනවල නියෝජිතයන්ගේ සහ වව්නියාව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ගේ  සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර එහිදී අප්‍රේල් 08  සිට  22 දින දක්වා අන්තර් පළාත් විශේෂ අවුරුදු සේවා සැපයීමට සියලු පාර්ශවයන්ගේ එකඟත්වයෙන් තීරණය විය.
     
    ඒ අනුව ලබන 08දා සිට අප්‍රේල් 16 දින දක්වා ප්‍රධාන වශයෙන් කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ පර්යන්තය කේන්ද්‍ර කරගනිමින් විශේෂ  අවුරුදු සේවා ක්‍රියාත්මක කෙරේ. අනෙකුත් පළාත්වල/ප්‍රදේශවල සිට ආරම්භ කෙරෙන දුරගමන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ පළාත් ප්‍රවාහන අධිකාරීන්වෙත අවශ්‍ය  උපදෙස් හා තාවකාලික මගී සේවා අවසරපත් (මාර්ග බලපත්‍ර) ජාතික ගමනාගමන කොමිෂම් සභාව මඟින් නොමිලේ ලබාදීමට පියවර ගැනිණි.  
     
    අප්‍රේල් 15 වනදා සිට 22 දින දක්වා විශේෂයෙන් පළාත් ප්‍රවාහන අධිකාරීන් මූලික කරගනිමින් කොළඹ තදාසන්න ප්‍රදේශ  දක්වා බස් රථ සේවා ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණු ප්‍රධාන කරුණු පහත පරිදි වේ. අවුරුදු සමයේ ගම්බිම් බලායාමට විශාල ජනකායක් ඒකරාශී වන, කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ පර්යන්තයේ සිට  පැය 24 පුරා සාමාන්‍ය ධාවන කාලසටහනින් බැහැරව අඛණ්ඩව සේවා සැපයීම. අනෙකුත් බස් නැවතුම්පොළ සිට මගී අවශ්‍යතා අනුව සේවා සැපයීම. බස්රථයේ ආසන ගණන මගීන්ගෙන් සම්පූර්ණ වූ වහාම ගමන් ආරම්භ කරවීම.
     
    බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ක්‍රියාත්මක වන සාමාන්‍ය ආරක්ෂක සේවාවට අමතරව පොලීසිය හා යුද හමුදා පොලීසිය සම්බන්ධ කරගෙන පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාම.
     
    ජල සැපයුම හා පිරිසිදු සනීපාරක්ෂක සේවා ලබාදීම. බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ ආශ්‍රිතව හදිසි අවස්ථාවන් සඳහා සේවා සැපයීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ගිලන් රථයක් සූදානම්ව තැබීම. සියලු ම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් මඟින් බස් රථ 100ක් හෝ ආසන්න ප්‍රමාණයක දුරගමන් සේවා ධාවනයට සුදුසු තත්ත්වයේ බස් රථ ඇණියක් ඉතා ඉක්මනින් සූදානම් කර තැබීම. ජාතික ගමනාගමන කොමිෂම් සභාවේ සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලින් විශේෂ අවුරුදු සේවා සම්බන්ධීකරණය සඳහා විශේෂ නිලධාරීන් පත් කර අඛණ්ඩ සේවා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම.
     
    අලුත් අවුරුදු විශේෂ සේවා ක්‍රියාත්මක වන කාලසීමාවේදී වැඩිපුර ගාස්තු අයකිරීම, ප්‍රවේශපත් නිකුත් නොකිරීම,  අතරමගදී නියමිත මාර්ගය හැර වෙනත් මාර්ග හරහා ධාවනයේ යෙදීම, ගමනාන්තය දක්වා ධාවනය නොකිරීම ආදී  අක්‍රමිකතා වැටලීමට ප්‍රමුඛත්වය දීමට ද මෙහිදී තීරණය විය.  
     
    මේ හැරුණු විට ජාතික ගමනාගමන කොමිෂම් සභාව යටතේ පාලනය වන අන්තර් පළාත් බස් රථ සේවා නියෝජනය කරන මගී ප්‍රවාහන සමාගම් වන සී/ස අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, කතරගම, හලාවත, වව්නියාව, අනුරාධපුර, පොලොන්නරුව, නුවරඑළිය, වයඹ කේ.ජී.එන්, කුරුණෑගල - මහනුවර,  කුරුණෑගල - උතුරුදිග, රත්නපුර, මහනුවර - කොළඹ, කුරුණෑගල - කොළඹ යන මගී ප්‍රවාහන සමාගම් සහ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පෞද්ගලික බස් සංගමය, සී/ස හම්බන්තොට ජනතා පෞද්ගලික බස් සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යන සංගම්වල නියෝජිතයන්ද අලුත් අවුරුදු ප්‍රවාහන සේවා පිළිබඳව දැනුවත් කරනු ලැබීය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya