අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අයිතීන් සුරක්ෂිත කිරීමට ජාතික ළමා සභාවක්

    මාර්තු 27, 2014

     

    ශ්‍රී ලාංකීය දරුවන්ගේ ළමා අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ සහභාගිත්ව අයිතිය තහවුරු කිරීමත් දරුවන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ දී එහි පාර්ශවකරුවන් ලෙස සහභාගි වී ඔවුන්ගේ අදහස් හා යෝජනා ජාතික තලයට රැගෙන යාමත් අරමුණු කර ගනිමින් ජාතික ළමා සභාව, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පිහිටුවන ලදී.

     
    2014 සහ 2015 යන වර්ෂ දෙකක නිල කාලය වෙනුවෙන් ජාතික ළමා සභාව සඳහා නව නිලධාරීන් තෝරා පත්කරගැනීම පසුගියදා ඇඹිලිපිටිය, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ උපදෙස් පරිදි පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් යමුනා පෙරේරා මහත්මියගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදු කෙරිණි. 2009 වර්ෂයේ ආරම්භ කළ ළමා සභා ව්‍යාපෘතියේ දෙවන ළමා සභාව මෙලෙස පිහිටුවා ගන්නා ලදී.
     
    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ප්‍රකාශිත ළමා අයිතිවාසිකම් අතර සහභාගිත්ව අයිතිය ඉතා වැදගත් මෙන්ම පුළුල් ළමා අයිතිවාසිකමකි. එම ප්‍රඥප්තියේ 12,13 සහ 15 යන ව්‍යවස්ථාවන්ගෙන් දක්වා ඇති එම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම තුළින් ළමා ආරක්ෂාව තහවුරු කිරීමටත් විවිධාකාරයෙන් සිදුවන ළමා අපයෝජනයන් අවම කිරීමටත් ළමා අපචාර තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමටත් සහභාගිත්ව අයිතිය ළමුන්ට සහතික කරදීම තුළින් ළමුන් ශක්තිමත්වීමත් බලාත්මකවීමත් සිදු වන නිසා ඒ සඳහා ජාතික ළමා සභාව විශාල පිටිවහලක් වේ. ඒ අනුව මෙලෙස එය යාවත්කාලීන කිරීමට පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.              
                                                     
    මෙරට අනාගත උරුමය භාරගැනීම සඳහා නැණ නුවණින් හා වෙර වීරියෙන් සපිරි දරු පරපුරක් බිහිකිරීම යන “මහින්ද චින්තන ඉදිරි දැක්ම” තුළින් අපේක්ෂිත පරමාර්ථයන් ද යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණු පෙරදැරිව මෙවර ජාතික ළමා සභාව පිහිටුවා ගැනිණි.
     
    ග්‍රාම සේවා වසම් මට්ටමින් ආරම්භ කරන “ග්‍රාමීය ළමා සමාජ”, පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “ප්‍රාදේශීය ළමා සමාජ” ලෙසත් ඉන් අනතුරුව “දිස්ත්‍රික් ළමා සමාජ” ලෙසත් ඉන්පසු එම දිස්ත්‍රික් ළමා සමාජවල නියෝජිතයන් එක්ව ජාතික ළමා සභාවත් පිහිටුවා ගනී. මේ තුළින් ළමුන්ගේ හඬ ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමේ අවස්ථාව ඔවුන්ට හිමි ව තිබේ. 
     
    දිවයින පුරා ග්‍රාම නිලධාරී මට්ටමින් වයස අවුරුදු 06 – 18 අතර දරුවන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවන ළමා සමාජ 3000ක් පමණ මේ වන විට පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත. එම ළමා සමාජ පිහිටුවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ගේ පූර්ණ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබයි.
     
    ජාතික ළමා සභාව දෙවන වර ප්‍රතිසංවිධානය කිරීමේ අවස්ථාව මෙවර උදා වූ අතර එහිදී සෑම දිස්ත්‍රික් ළමා සභාවකම ප්‍රධාන නිලධාරීන් හත්දෙනා (07) හට ජාතික ළමා සභාවේ සාමාජිකත්වය දැරීමේ අවස්ථාව උදාවිය.
     
    ඒ අනුව ඉකුත් 2009 වර්ෂයේ දී සමාජිකයන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිහිට වූ ප්‍රථම ජාතික ළමා සභාව මෙවර සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගත් සාමාජිකයන් 175 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් සමන්විත වන ලෙස වර්ධනය කිරීමට පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. ඒ අනුව එම සාමාජිකයන්ගේ ඡන්දයෙන් ඔවුන් අතරින් ජාතික ළමා සභාවට තෝරාගත් නිලධාරී මඩුල්ල මෙසේ ය.
     
    සභාපති කේ.ඩී. කසුන් මධුලාල් වීරසේකර (හම්බන්තොට), සම සභාපති පී. ඩික්සන් (මන්නාරම), ලේකම් තිෂාන්තිනී ෂිවකුමාර් (වව්නියාව), සම ලේකම් ඩබ්ලිව්.ඒ. ලවන්ගා තත්සරණි වීරකෝන් (මහනුවර), භාණ්ඩාගාරික කේ.එම්. පැතුම් සඳරුවන් හල්පිට (ගම්පහ), ජාතික සංවිධායකයන් ලෙස ටී. චතුරංග පෙරේරා (අනුරාධපුර) සහ එල්.ඒ.එම්. තිලාන් සඳරුවන් (කුරුණෑගල) තේරී පත්වූහ.     
     
    මෙම නව නිලධාරීන්ගේ නම් හා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්ක පිළිබඳ විස්තර නිල වශයෙන්  එහි දී අමත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ඉදිරියේ ප්‍රකාශයට පත්කළ අතර ඉන් අනතුරුව පැවති උත්සවයේ දී ජාතික ළමා සභාවේ සාමාජිකත්වය දරන දරුවන් සිය කුසලතා එළිදැක්වීය.
     
    මේ අතර ඉදිරි වර්ෂ දෙක තුළ දී ජාතික ළමා සභාව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසහන් පිළිබඳ යෝජනාවලිය ජාතික ළමා සභාවේ නව සභාපති කේ.ඩී. කසුන් මධුලාල් වීරසේකර දරුවා විසින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වෙත භාරදෙන ලදී.
     
    අදාළ යෝජනා හා ඉන් අපේක්ෂිත අරමුණු සහිත ඉදිරි වැඩසටහන් පිළිබඳ යෝජනාවලිය, ජාතික ළමා සභාවේ අනු කමිටු පහේ සහභාගිත්වයෙන් සකස් කර ඇත. එම කමිටු වන්නේ ජනසන්නිවේදන සහ මාධ්‍ය ම කමිටුව, සංස්කෘතික හා සදාචාරාත්මක කමිටුව, පරිසර කමිටුව, සමාජ සමීක්ෂණ අධ්‍යයන කමිටුව සහ මානව සම්පත් සංවර්ධන කමිටුවයි.
     
    එහි දී අදහස් දැක් වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “ළමා සමාජ සංකල්පය තුළින් පරිපූර්ණ හැකියාවන්ගෙන් යුත් දරුවන් බිහිවන අතර රටේ අනාගතය භාරගැනීමට ශක්තිමත් නායකයන් සොයාගත හැකියි. සමාජයක පැවැත්මට අවශ්‍ය  දායකත්වය මෙන්ම වගකීම් පිළිබඳ නිසි අවබෝධය ළමා සමාජ තුළින් ලබාදිය යුතුයි. ඒ වගේම මෙය උතුරේ හා දකුණේ දරුවන්ගේ සංහිඳියාව ඇති කිරීමටත් මහඟු අවස්ථාවකි.
     
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය  දකුණේ දරුවන්ට මෙන්ම උතුරේ දරුවන්ටත් සම ලෙස සලකන වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරනු ලබයි. රටට සේවය කිරීමට දේශපාලඥයෙකුම විය යුතු නැහැ. ෆේස්බුක්, ජංගම දුරකතන වැනි දේ භාවිතයෙන් ඉටුකරගත යුත්තේ යහපත් අරමුණු පමණයි.
     
    මෙම ජාතික ළමා සභාවේ සාමාජිකයින්ට 2014 ලෝක ළමා දින ජාතික උත්සවයට සහභාගිවීමට අවස්ථාව උදාකර දීමටත් දිවයිනේ හොඳම ළමා සමාජ තුන සඳහා වාර්ෂිකව සම්මාන පිරිනැමීමටත් පියවර ගන්නවා.”                                          
     
    ජාතික ළමා සභාව පිහිටුවන ලද දින රාත්‍රියේ ගිනි මැල සංදර්ශන වැඩසටහනක් ද පැවති අතර එහි දී ද උතුරේ සහ දකු‍ණේ දරුවන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා කර දී තිබිණි. 
     
    ජාතික ළමා සභාව පිහිටුවීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසීමා විජේසේකර, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් යමුනා පෙරේරා, සහකාර කොමසාරිස් නිර්මලී ප්‍රියංගනී පෙරේරා, ඇඹිලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් සුභාෂ් රවින්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු දරු දැරියෝ විශාල පිරිසක් සහභාගී වූහ.  
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya