සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලයිෆොසේට් වල්නාශකය තහනම ඉවත් කිරීමට සූදානම්- අමාත්‍ය මහින්ද අමරවීර

    සැප්තැම්බර් 07, 2022

    ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව පවතින ග්ලයිෆොසේට් වල්නාශකය තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    "තිරසාරබව සමග ආහාර අර්බුදය ජයගැනීම සඳහා ඉදිරි මාවත හා යෝජනා" යන මැයෙන් ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ (6) පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී ග්ලයිෆොසේට් වල් නාශකය තහනම ඉවත් කිරීම සම්බන්ධව හා එම වල්නාශකය නැවතත් රට තුළ භාවිතා කිරීම සම්බන්ධව අමාත්‍යවරයා කෘෂි ව්‍යවසායකයින්ගෙන් කරුණු විමසීය.

    ඊට පිළිතුරු දුන් කෘෂි ව්‍යවසායකයින් ග්ලයිෆොසේට් නීතියෙන් තහනම් කර ඇතත් දැනටත් රටපුරා තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් කුඩු හා දියර වශයෙන් නීතිවිරෝධීව අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, දළ වශයෙන් වසරකට රුපියල් බිලියන 1.5ක ග්ලයිෆොසේට් නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන බවත් පෙන්වා දී තිබේ.

    මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් භාවිතා කිරීම නිසා සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය හානිය ගණනය කළ නොහැකිබවත්, ඔවුන් පෙන්වා දී ඇත.

    ග්ලයිෆොසේට් වල් නාශකය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ග්ලයිෆොසේට් යනු බහුවාර්ෂික භෝග සදහා අත්‍යවශ්‍යම සාමාන්‍ය වල් නාශකයක් බවත්, විශේෂයෙන් බඩඉරිඟු වගාව පුළුල් වශයෙන් වගා කිරීමට සූදානම් වන අවස්ථාවක ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කරමින් බඩඉරිඟු වගාව සාර්ථක කර ගත නොහැකි බවද අවධාරණය කළේය. එමෙන්ම ග්ලයිෆොසේට් තහනම කඩිනමින් ඉවත් කිරීම සිදු කළ යුතු යැයිද පෙන්වා දුන්නේය.

    ඒ අනුව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසේට් වල් නාශකය තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඒවා ආනයනයට සුදානම් වීම සම්බන්ධයෙන් කෘෂි ව්‍යවසායකයින්ගෙන් කරුණු විමසීය. ග්ලයිෆොසේට් තහනම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන්නේ නම් ඒවා ආනයනය කිරීම සඳහා තමන් කවර අවස්ථාවක වුවද සූදානම් බව ද ව්‍යවසායකයන් පැවසීය.

    අප රටේ වී, බඩඉරිඟු ඇතුලු ආහාර බෝගවගාවන් හි අස්වැන්න අවම වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රබල වල් මර්දන නාශයකයක් වන ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් මෙම මහ කන්නයේ දීම නැවතත් ග්ලයිෆොසේට් ආනයනයට ඉඩ සළසමින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම අවස්ථාවට කෘෂි ව්‍යවසායකයින් රැසක් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya