මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “පුනර්ජනනීය බලශක්තියේ අභිමානවත් හැරවුම් ලකුණක් සනිටුහන් කරන ‘තම්බපවනි’ මෙරට ඉදිවන ප්‍රථම සුළං විදුලිබලාගාර උද්‍යානයයි- විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    දෙසැම්බර් 07, 2020

    රටේ ආර්ථිකය නගාසිටුවීමට පුනර්ජනනීය බල ශක්තිය යොදාගැනීම පිළිබඳ ස්වකීය රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, බල ශක්ති සංරක්ෂණය, බල ශක්ති ස්වයංපෝෂිතභාවය ගැන අවධානය යොමුකරන රාජ්‍යයක් වශයෙන් විදුලිය සඳහා දැරිය යුතු පිරිවැය අවම කරමින් වඩාත් ස්ථාවර ව, අඛණ්ඩ ව හා පහසුවෙන් මෙන්ම අඩු පිරිවැයකින් බලශක්ති පරිභෝජනයට ජනතාවට අවකාශ සැලසීම රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් නූතන විදුලි විප්ලවය අරඹා ඇති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    විදුලි බල උත්පාදනයේ අනාගත හැරවුම් ලකුණක් සනිටුහන් කරමින් මෙරට ස්ථාපිත, දෙසැම්බර් 08 වැනි දා විවෘත කෙරෙන තම්බපවනි සුළං විදුලිබලගාර උද්‍යානය සම්බන්ධ ව දැනුවත් කිරිම සඳහා (06) පෙරවරුවේ විදුලිබල අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, “ පුනර්ජනනීය බලශක්තිය නිපදවිය හැකි ආකාර පිළිබඳ සොයාබලමින්, ඊට අදාළ විශේෂඥ උපදෙස් ද ලබාගනිමින් මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීම වෙන්නෙ, 2014 මාර්තු මාසයේ දීයි. එවකට ජනාධිපතිවරයා වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමන්ගේ යුගයේ දී ආරම්භ කරන ලද වැඩක් එතුමන්ගේ අතින් ම මල්ඵලදරනු දැකීමෙන් දේශපාලකයෙක් විදියට නායකයෙක් විදියට එතුමන් බොහෝ සතුටට පත්වෙනු නිසැකයි. ගත වූ වසර 7ක කාලය තුළ මේ රටේ කිසිම විදුලිබලාගාරයක් අලුතින් ආරම්භ කරලා නෑ. අපි ඉතිහාසයට ඇඟිලි දිගුකරනවා නෙවෙයි. ඒත් අපේ රටේ ආර්ථිකයට මෙයින් ලබාදිය හැකි දායකත්වය ගැන අවධානය යොමු කළ යුතුයි. වසරක් පාසා ඉහළ යන විදුලිබල ඉල්ලුම හමුවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙනුවෙන් රටක් වශයෙන් අප අවධානය යොමු කළ යුතුයි. ඉදිරි අවුරුදු 10 ඇතුළත මෙගාවෝට් 800ක විදුලි බල ශක්තියක් නිපදවීමට තම්බපවනි සුළං බල උද්‍යානයට හැකිවේවි” යැයි පැවසීය.

    මන්නාරම දිස්ත්‍රික්කයේ තම්බපවනි සුළං බල උද්‍යානය ඉදිකිරීමේ දී ප්‍රධාන කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන තිබේ. මෙය 100%ක් ම පරිසර හිතකාමී අයුරින් ඉදිකර ඇත. පාරිසරික හානි ඇතිවීම වළක්වාගැනීම පිණිස සාමාන්‍යයෙන් සුලං විදුලිබලාගාරවල නැති රේඩාර් පවා සෑම සුලං පෙත්තක ම නිර්මාණය කර ඇති බවත්, විශේෂයෙන් ම ප්‍රදේශයේ මහජනතාවට සවන්දෙමින්, ඔවුන්ගේ අදහස්වලට ඉඩ ලබාදෙමින්, මන්නාරම් කලාපයට මෙයින් වන බලපෑම සම්බන්ධයෙන් ද සමීක්ෂණයට ලක්කර, ජනතාවගේ පානීය ජලය, ඝණ අපද්‍රව්‍ය පරිවහනය සම්බන්ධ ව මන්නාරම ඇතුළු සමස්ත කලාපය තුළ ම ජනතාවගේ ආර්ථික සමාජයීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

    එළඹෙන දෙසැම්බර් මස 8 වැනි දින ජාතියට දායාද කිරීමට නියමිත මෙම සුළං බල ව්‍යාපෘතිය මගින් මෙගවොට් 103ක ධාරිතාවක් විදුලි බල පද්ධතියට මුදාහැරීමට අපේක්ෂිත ය. මේ සඳහා වෙන් කර ඇති ඩොලර් මිලියන 141ක සමස්ත ආයෝජනය තුළ ඉතිරිව ඇති මුදලින් තවත් ටර්බයින් යන්ත්‍ර 06ක් යෙදවීමට ද ඉදිරියේ දී කැබිනට් අනුමැතිය ලබාගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    රාජ්‍ය සහ පෞද්ගලික දෙපාර්ශවයේම සහයෝගය ලබාගනිමින් මෙයින් ඔබ්බට මෙම බලශක්ති සංවර්ධන කටයුතු පුළුල් කරගැනීමට ද තමා අපේක්ෂා කරන පැවසූ අමාත්‍යවරයා, මෙහි සැලසුම් සකස් කිරීම තුළ විදුලිබල මණ්ඩලය සතු ශක්තීන් සහ ශක්‍යතාවන් කෘතවේදී ව අගය කළේය. එමෙන් ම දැනට ලෝකයේ ඇති සුළං බල ශක්තිය නිෂ්පාදනය සම්බන්ධ උසස් ම තාක්ෂණය ඒ ආකාරයෙන් ම තම්බපවනි උද්‍යානයට ලබාදෙන්නට සූදානම් බව ද ලංකා විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

    පොසිල ඉන්ධනවලින් මෙරට විදුලිය ජනනය කිරීමට රුපියල් 30කට ආසන්න මුදලක් වැයවන නමුත් සුළ බල ශක්තියෙන් විදුලිය ජනනයට වැයවන්නේ විදුලි ඒකකයකට රුපියල් 8ත් 9ත් අතර මිලක් බව ද, මෙය රටේ ආර්ථිකයට විශාල සහනයක් මෙන් ම රටට භාග්‍යයක් බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා, මෙමගින් විදුලි ඒකක මිලියන 8000ක් බල ශක්තිය ඉදිරි වසර 20 තුළ රටට ලබාදෙන බව ද සඳහන් කළේය.

    එමෙන් ම සුළං බලයෙන් විදුලි ජනනය තුළින් රටට ඉතිරිවෙන ඩීසල් ලීටර් මිලියන 2000ක් මේ අවුරුදු 20ක සිමාව තුළ දහනය නොකර ඉතිරි කරගන්නට හැකිවන බව ද, එමගින් අවම වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 5.7කින් පරිසරයට කාබන් මුදාහැරීම වළක්වාගත හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    තම්බපවනි සුළං බල උද්‍යානය පුනර්ජනනීය විදුලි බලාගාරයක් ලෙස ජාතික පද්ධතියට එක්වන මොහොත දක්වා මේ ක්‍රියාවලියට දායක වූ සියලු පාර්ශවකරුවන්ට දේශපාලන පසුබිම නොබලා කෘතවේදීත්වය පළ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම පුනර්ජනනීය බලයෙන් අපේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ඉදිරිපත්වන ඕනෑම ව්‍යවසායකත්වකට වසර 7ක බදුසහන ලබාදෙන බවත්, ඉදිරියේ දී මීට අදාළ නව කර්මාන්ත රාශියක් බිහිවිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඉදිරියේ දී සියඹලාන්ඩුවේ දී පළමු සූර්යබල උද්‍යානය ඉදිකරන්නට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    මේ අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ඇතුළු විදුලි බල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya