සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆාමසි පිළිබදව සංගණනයක් - ෆාමසි ලියාපදිංචිය සෞඛ්‍ය ඇමැති තාවකාලිකව අත්හිටුවයි

    මාර්තු 09, 2017

    ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබද තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර දී පසුගියදා පැවැත්විනි.

    එම රැස්වීමට සහභාගි වූ ඖෂධ ශාලා හිමියන් පැවැසුවේ සෑම නගරයකම නව ෆාමසි විවෘත කිරිම හේතුවෙන් වෙළෙද ව්‍යාපාරවලට බාධා පැමිණ ඇති බවයි. ඇතැම් ෆාමසි වල ඖෂධවේදීන් ද නොමැති බව මෙහිදී ප්‍රකාශ කෙරුණි. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, සෑම ෆාමසියකම එක් ඖෂධවේදියකු හෝ සිටිය යුතු බවයි.

     

    ෆාමසි කළමණාකරණය ද ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ ය.

    උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ඖෂධ මිල නියාමනය කිරීමෙි දී ඔසුසල් හිමියන්ගේ සංගමය සහ සුළු ආනයනකරුවන් මට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඇතැම් ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් ඖෂධ මිල නියාමනයට විරෝධය පළ කළා. මිල අඩු කරනවා ද, නැද්ද යන්න දේශපාලන තීන්දුවක්. දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් 25,000 ක් මියයනවා. අක්‍රීය දුම්පානයෙන් කුඩා දරුවන් පමණක් වාර්ෂිකව සියයට 05 ක් මියයනවා. එම නිසයි දුම්පානය අවම කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගෙන තිබෙන්නේ.මොකද ඖෂධ ව්‍යාපාරයේ දී ඖෂධයක් වැරදි ආකාරයට ලබාදුන්නොත් රෝගියා මියයන්නත් පුළුවන්. හැබැයි ඖෂධ වෙළෙදාමෙන් ජනතාව සූරාකන්නත්, ජාවාරම් කරන්නත්, ඉඩ දෙන්න බැහැ. වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරනවා.

     

    නමුත් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බලන්න ඕන. ඖෂධ මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අළෙවිය සියයට 30 කින් වැඩි වී තිබෙනවා. ෆාමසිවල අළෙවිය වැඩි වුනත්, ලාභය අඩු වී තිඛෙනවා. එම නිසා මම ඉල්ලා සිටිනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ අළෙවි කරන්න කියලා. එවිට සියයට 18 ක ලාභයක් ෆාමසිවලට ලබාදෙන්න පුළුවන්. ඔසුසල් හිමියන්ගේ සංගමයේ සමාජිකයින්ට ඖෂධ මිල අඩු කිරීමෙන් අගතියක් සිදු වුවත්, එය රට වෙනුවෙන් ගත් උදාර තීරණයක්.”  

    මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රීක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, ප්‍රධාන ආහාර සහ ඖෂධ පරික්ෂක අමිත් පෙරේරා, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතලු නිලධාරී මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya