සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල්දෙයි

    මාර්තු 08, 2017

    ශ්‍රී ලංකාවේ ද අනුග්‍රහය සහිතව එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ඉදිරිපත් කරනුලැබූ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 2ක කාලයක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණයකොට ඇත.  

    එහි න්‍යාය පත්‍රයේ 30/1 යනුවෙන් සටහන්කොට ඇති මෙම යෝජනාවට අලුතින් කිසිදු වගන්තියක් ඇතුලත්කොට නැතැයි වැඩ බලන විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

    මෙහිදී මාධ්‍ය වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණු දැක්වූ ඒ මහතා  දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමක් ගැනත් යුද අපරාධ විභාගයට විදේශ විනිසුරුවරුන් පත්කිරීම ආදිය ගැනත් සමහරුන් විවිධ ප්‍රකාශ කරන නමුත් මෙම යෝජනාවේ ඒ පිළිබඳව වචනයක්වත් සඳහන් නොවන බව වැඩ බලන විදේශ ඇමතිවරයා වශයෙන් තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද කීය.  එසේම එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ඇතුළු මෙම යෝජනාවට සම්බන්ධ රටවල් ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අලුතෙන් කිසිදු යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කර නැති බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තව දුරටත් සඳහන් කළේය.

    මෙවර සැසි වාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් සෙයිඩ් කුමරු විසින් ඉදිරිපත්කොට ඇති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳව දක්වා ඇති කරුණු හොඳින් අධ්‍යයනය කොට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒ ගැන ශ්‍රී ලංකාවේ මතය ප්‍රකාශ කරන බව ද වැඩ බලන ඇමතිවරයා කීය.

    පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට පහර දී එක් ධීවරයකු ඝාතනය කොට ඇති බවට තමීල්නාඩු ධීවර සංගම් නගන චෝදනාව නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේපකොට ඇති බවත් රජය ඒ ගැන පුළුල් පරීක්ෂනයක් කරගෙන යන බවත් ඔහු පැවසීය.

    මාර්තු 10, 11 දිනවල කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන මංගල්‍යයට සහභාගි වන තාමිල්නාඩු ධීවරයින් ඇතුළු ජනාතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සඳහා නාවික හමුදාව සියලු කටයුතු සූදානම්කොට තිබෙන බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya