සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක සැබෑ සංවර්ධනයක් ඇති කිරීමට නම් ඒ රටේ පවුල් සබඳතා ශක්තිමත් කළ යුතුයි

    මාර්තු 07, 2017

    රටක සැබෑ සංවර්ධනයක් ඇති කිරීමට නම් ඒ රටේ පවුල් සබඳතාද ශක්තිමත් කළ යුතු බව   වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    පවුල ශක්තිමත් කරන ප්‍රධාන පුරුකත් කාන්තාව වන බවද අමාත්‍යවරයා කියා සිටී. කොළොම්තොට ලෝක කාන්තා දින සැමරුම් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතන ශ්‍ර‍වණාගාරයේදී එම උත්සවය අද (07) පැවැත්විණ.  


    “අපි වැඩිම විදේශ ආදායම ලබන්නේ කාන්තාවන් පිටරටවල වහල් සේවයට යොදවා ලබන ආදායමෙන් කියලා සමහරු ලැජ්ජ නැතිව කියනවා. නමුත් මම පෞද්ගලිකව කාන්තාවන් පිටරට යවා මුදල් උපයාගැනීමට විරුද්ධ කෙනෙක්. අපි සිංහල බෞද්ධ රටක්. අනෙක් ආගම් සමඟ එක්ව සිටින රටක්. මම නම් ලැජ්ජා වෙනවා මේ වැනි කතාවක් කියන එක සම්බන්ධයෙන්. රටක් ඉදිරියට ගෙනයන්න මුදල් අවශ්‍යයි. නමුත් අපේ කාන්තාවන් ටික විකුණා හෝ මුදල් ඉපයීම සම්බන්ධයෙන් මගේ විරුද්ධත්වයක් තියෙනවා. අපි කාන්තාවගේ වටිනාකම හඳුනාගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලෝක ආර්ථිකයට අපි හැඩ ගැහෙන්න අවශ්‍යයි කියනවා. නමුත් අපි හැදිච්ච සංස්කෘතිය හා සදාචාරයට පයින් ගහලා තියෙනවා.

    මම දකින්නේ ගෙදරක ප්‍ර‍ධානම පුරුක කාන්තාව. ගෙයක් ඇති කරන්නෙත් කාන්තාව. නැති කරන්නෙත් කාන්තාව. සැමියා කුමන රැකියාවක් කළත් පවුල ඉදිරියට ගෙනි යන්න පුළුවන් ප්‍ර‍ධානම කෙනා තමයි අම්මා. පසුගිය දිනවල මේ ආයතනයට බඳවාගැනීම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී සියයට 90 ක් පමණ අයදුම් කළේ කාන්තාවන්. මේක අපිට ප්‍ර‍ශ්නයක් වුණා. මොකද කාන්තාවන් බඳවාගැනීමේදී ප්‍රායෝගික ප්‍ර‍ශ්න එනවා.

     

    ඔවුන්ව රාත්‍රී සේවා මුර සඳහා යොදවන්නත් බැහැ. නමුත් අවසානයේදී මම තීරණයකට ආවා යම්කිසි ප්‍ර‍තිශතයක් කාන්තාවන්ටත් ලබාදෙන්න. නැත්නම් එතනදි ඔවුන්ට විශාල අසාධාරණයක් වෙනවා. අද කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉදිරියෙන්ම සිටිනවා. පාරවල්වල පෝස්ටර් අලවමින් කෑ ගහන කාන්තාවන් අඩුයි. ඒ එක්කම අපි තරුණ පිරිමින්ගේ ජවය කොයි දිශාවකට යන්නේ දැයි සොයා බැලිය යුතු වනවා. අද ඕනම හන්දියක, ත්‍රීවිල් නැවතුම්පළක වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 18 සිට 24 දක්වා වයස් සීමාවල තරුණ පිරිමි දරුවන්. බොහෝ ආයතනවල මේ තරුණ ළමයින්ට රැකියා තියෙනවා.

     

    නමුත් ලෙහෙසියෙන් මුදල් උපයන ක්‍ර‍ම ගැන තමයි ඒ ළමයි උනන්දු වෙන්නේ. හොරට මුදල් උපයන්න, කොමිස් ගහන්න, කෙනෙකු විකුණා හෝ මුදල් ඉපැයීමට ඔවුන් යොමු වනවා. හොද යහපත් සමාජයක් ඇති කරන්න නම් ඉදිරියේදී මේ ක්‍ර‍මය වෙනස් කළ යුතුයි.....” යැයිද   අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    කොළොම්තොට ලෝක කාන්තා දින සැමරුම සංවිධානය කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. “ස්ත්‍රිත්වයට අභිමානවත් හෙටක්” යන තේමාව යටතේ එය සංවිධානය කෙරිණ. රූපලාවණ්‍ය වැඩසටහන්, ප්‍ර‍ණීත ආහාර පිසීම පිළිබඳ වැඩමුළු සහ ආකල්ප වර්ධනය කිරීමේ දේශන   ඊට ඇතුළත් විය. උත්සවයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya