සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ තරුණ කණ්ඩායම් සංවර්ධනයේ කොටස්කරුවන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා

    මාර්තු 06, 2017

    තරුණ නායකත්වය මේ රට ඉදිරියට ගෙන යෑමට අත්‍යවශ්‍යයි. තරුණ නායකත්වයට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා. සමාජයේ දක්‍ෂතාවයට නිසිතැන හිමිවිය යුතුයි. ඒ සමගම රටේ තරුණ කණ්ඩායම් සංවර්ධනයේ කොටස්කරුවන් කර ගැනීමටබලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේදී අද (06) දින පැවැති එඩින්බරෝ ආධිපාද ජාත්‍යන්තර ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවිධ හැකියා, දක්‍ෂතා තිබෙනවා. විවිධ උත්සව අවස්ථාවන්වලදී මම එය දැක තිබෙනවා. වෙසක්, නත්තල් ඇතුළු විවිධ උත්සව අවස්ථාවන්වල තරුණ තරුණියන්ගේ හැකියා, දක්‍ෂතා මතු වෙනවා. මාධ්‍ය හරහාත් එම දක්‍ෂතා දැකගන්න පුළුවන්. ශ්‍රම ශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති ගණනාවක් සිදු කළ දක්‍ෂ තරුණ තරුණියන් අප දුටුවා.

    පසුගියදා පැවැති රියැලිටි තරගාවලියේ අවසන් මහා තරගයේදීත් අප තරුණ තරුණියන්ගේ දක්‍ෂතා දුටුවා. යොවුන් පාර්ලිමේන්තුව තුළ ජාතික පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි දක්‍ෂතා තිබෙන තරුණ තරුණියන් සිටිනවා. මෙම වැඩසටහන් තුළින් එම දක්‍ෂතාවයන් පෙන්නුම් කරනවා. ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග මම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ උත්සවයකට සහභාගී වුණා. එහිදී විද්‍යා අංශයෙන් රෝබෝටික්ස් නව නිර්මාණ ඉදිරිපත් කළ දක්‍ෂ තරුණ පිරිසක් හමුවීමට හැකි වුණා. මෙවැනි විශාල තරුණ පිරිස් ග්‍රාමීයව සිටිනවා. නමුත් මම කනගාටු වනවා මෙම කණ්ඩායම් ඉදිරියට ගෙන ඒමට යාන්ත්‍රණයක් නොතිබීම පිළිබඳව.

     

    දක්‍ෂ තරුණ පිරිසට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්‍ෂතා ඉදිරියට ගෙන එන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට තරුණ සේවා සභාවටත්, රාජ්‍ය අමාත්‍යවරයාටත් මම විශේෂයෙන්ම දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම එඩින්බරෝ ආධිපාදවරයාගේ තිළිණ ප්‍රදානය මෙහි පැවැත්වීමට කටයුතු සැලසුම් කළා. මෙය ලොව පුරා ක්‍රියාත්මක කරන වැඩසටහනක්. මට මතකයි එවකට සිටි හමුදාපතිවරයකු වන ජනරාල් ඇන්ටන් මුතුකුමාරු මැතිතුමාටත් එම අවස්ථාව හිමිවී තිබෙනවා.

     

    විවිධ අභියෝගවලට මුහුණදීමට සහ ක්‍රියාකාරකම්වල නියැලීමටත් මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා. දුන්හිඳ ඇල්ල අද්දර මෙන්ම කැලණි ගඟ ආදී ස්ථානවල ළමයින්ට මෙන්ම අනෙක් අයට ද වයිට් වෝටර් රාෆ්ටින්, කඳුනැඟීම, ග්‍රාමීය සමාජ කටයුතු සිදු කිරීම, තමන්ගේ නායකත්වය මෙන්ම පසුබෑමට මුහුණදීම හා ජයග්‍රහණය කරා යෑම ආදී සියල්ල මෙහි ඇතුළත් නිසා මෙම වැඩසටහන ඉදිරියට පැමිණ තිබෙනවා.

     

    මේ තුළින් ග්‍රාමීය නායකයින්, ආයතන ප්‍රධානීන් සහ සමාජ නායකයින් බිහිවනවා. එම තරුණ නායකත්වය මේ රට ඉදිරියට ගෙන යෑමට අත්‍යවශ්‍යයි. තරුණ නායකත්වයට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා. මෙම වැඩසටහන ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන ලෙස විශේෂයෙන් මම ඇමැතිතුමාටත්, සභාපතිතුමාටත් සඳහන් කළා. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද ලබා දෙනවා. සමාජයේ දක්‍ෂතාවයට නිසිතැන හිමිවිය යුතුයි. ඒ සමගම රටේ තරුණ කණ්ඩායම් සංවර්ධනයේ කොටස් කරුවන් කර ගැනීමට බලාපොරොත්තු වනවා. අද අප විශාල සංවර්ධනයක් රට තුළට ගෙන එනවා. බලගතු ශ්‍රී ලංකාවක් ඇති කිරීම පිළිබඳව අද අප ආඩම්බර විය යුතුයි.

     

    බස්නාහිර, රුහුණ සහ වයඹ ආදී මුළු රටපුරා සංවර්ධනය ව්‍යාප්ත කිරීම අපේ අරමුණයි. අපේ හැකියාව දැනුම, ජාතික ධනය, විදේශ ආයෝජනය, විදේශ තාක්‍ෂණය මේ සියල්ලම යොදා ගනිමින් අප ඉදිරියට යා යුතුයි. ඒ තුළින් අප අලූත් සමාජයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම අලූත් රටක් ගොඩනැගිය යුතුයි. එම සංවර්ධනයේ ප්‍රතිලාභ සියලූ දෙනාටම බුක්ති විදීමට ඉඩකඩ සැලසිය යුතුයි.

     

    විශේෂයෙන්ම මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා හා තරුණ සේවා සභාපතිවරයාට මා ස්තූතිවන්ත වනවා. මෙම වැඩසටහන ආරම්භ කළේ 1985 වර්ෂයේදීයි. නමුත් සමහර අයට ඒ බව අමතක වුණා.මෙය අප ආරම්භ කළේ ජාතික තරුණ සේවා අධිකාරිය ලෙසයි. අවසානයේ එය මුදල් නැති නිසා දිස්ත්‍රික් 07 කට පමණක් සීමා වී තිබුණා. ඒ නිසා රාජ්‍ය ඇමැතිතුමාට තරුණ සේවා සභාව සමග එක්ව මෙය වැඩිදියුණු කරන ලෙසට වගකීම භාර දුන්නා.

     

    එඩින්බරෝ ආධිපාදවරයාගේ මෙම වැඩසටහන අද වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක් පුරා ක්‍රියාත්මක වනවා. මෙය සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරන ලෙසට මම දැනුම් දුන්නා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් ද එය ව්‍යාප්ත කළ යුතුයි. ඊට සහභාගී වී අභියෝගවලට මුහුණදෙමින් තම හැකියාවන් ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට ඔබට හැකි විය යුතුයි.

     

    තරුණ සේවා සභාව මේ ආකාරයෙන් විශේෂ වැඩකොටසක් ඉටු කරමින් සිටිනවා. මාර්තු අවසානයේදී ත්‍රිකුණාමලයේදී යොවුන් පුරය වැඩසටහන ද පැවැත් වෙනවා. එයින් තරුණ තරුණියන් රැසක් ත්‍රිකුණාමලයට එක් රැස්කිරිමට අපි බලාපොරොත්තු වනවා. පාසල් අතර රෝබෝටික්ස් තරගාවලියක් පවත් වන ලෙස ඊයේ මම අධ්‍යාපන අමාත්‍යවරයාට පැවසුවා. ඒ වගේම අද මම තවත් තරග කිහිපයක් පිළිබඳව ඇමැතිවරයා සහ සභාපතිතුමාට සඳහන් කළා. එනම් සොෆ්ට් වෙයා සැලසුම් කිරීම, ජංගම දුරකථන ඡායාරූප තරග ඉසව් කීහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලෙස. මෙසේ තරුණ කණ්ඩායම්වල අලූත් හැකියාවන්ට අපි අවස්ථාව ලබා දිය යුතුයි.

     

    අද දවසේදී සහභාගී වූ සියලූ දෙනාටම මා ප්‍රසංශා කරනවා. ඒවාගේම ත්‍යාගලාභීන් හමුවීම පිළිබඳවත් මා සතුටු වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya