ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ (27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණි. එම ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් වැඩසටහන ලෙස මෙම වැඩසටහන නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයේ සංවිධායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකූලව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය විසින් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රථමයෙන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, කැලණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේදී මෙම විශේෂ පූජාව සිදු කෙරිණි.
එහි දී වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන්හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත්, සමස්ත නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.