මෝල්ටා ධජය යටතේ යාත්‍රා කරන සංචාරකයින් 2380 දෙනෙකු රැගත් Mein Schief 6 සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායේ, වරාය අධිකාරිය සතු ECT ජැටියට පැමිණ තිබේ.
දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මෙම නෞකාව 951ක කාර්ය මණ්ඩලයක් සේවය කරයි.
මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින් සංස්කෘතික කලා සංදර්ශන ප්‍රදර්ශනය කරමින් පිළිගැනීමට අදාළ සංචාරක සමාගම් කටයුතු සම්පාදනය කර ඇති අතර එම සංචාරක ආයතන මඟින් මහනුවර සහ වෙනත් සංචාරක ප්‍රදේශවලට යාමට සූදානම් වූ සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබේ.එසේම කොළඹ නගරය අවට සංචාරයේ යෙදෙන සංචාරකයින් සඳහා පාපැදි සපයා දීමට ද කටයුතු කර ඇත.
පසුගිය 19 වන දා මෙම මඟී නෞකාව හම්බන්තොට වරායට ද පැමිණි අතර, එහිදී එම සංචාරක පිරිස යාල, බූන්දල, උඩවලව කතරගම සහ හම්බන්තොට අවට නගරවල සංචාරයේ නිරත වී තබේ. එහිදී එම සංචාරකයින්ට සේවා පහසුකම් ලබා දීමට රුහුණු සංචාරක කාර්යංශය සහ හම්බන්තොට මහනගර සභාව එක්ව විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි.
මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම යම් පසුබෑමකට ලක් වුවද මෙවැනි සංචාරකයින් විශාල ප්‍රමාණයක් රැගත් නෞකා මෙරටට පැමිණීමෙන් ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රය නැවත සක්‍රීය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි.


