කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයෙයි

කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයෙයි
  • SocialShare:

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කරන ලද කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ වැඩසටහන පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නූතන සමාජ මාධ්‍ය අවකාශය ඵලදායී ලෙස භාවිත කරමින් මහජනතාව තුළ පාරිසරික සංවිඥානය වර්ධනය කිරීම සහ පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාවට සමගාමීව තරුණ නිර්මාණකරුවන්ගේ සන්නිවේදන හා නිර්මාණාත්මක කුසලතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් කෙටි වීඩියෝ නිර්මාණකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් ද පවත්වන ලදී.

2026 ජගත් පරිසර දින වැඩසටහන් මාලාවේ “Urgent Climate Action” (හදිසි දේශගුණික ක්‍රියාකාරීත්වය) තේමාවට අනුකූලව සංවිධානය කරන ලද මෙම තරගාවලිය, “නිසි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වෙමු” යන කාලෝචිත තේමාව යටතේ ක්‍රියාත්මක කෙරිණි.

අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම සහ විවෘතව දහනය කිරීම හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන මීතේන් හා කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු දේශගුණික විපර්යාස තීව්‍ර කිරීමට හේතු වන බැවින්, විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳ සමාජ දැනුවත්භාවය නව තාක්ෂණික මාධ්‍ය ඔස්සේ පුළුල් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්, පාසල් සිසුන් සහ තරග ජයග්‍රාහකයින් එක්ව සිටියහ.