පසුගිය නොවැම්බර් මස ශ්‍රී ලංකාවට බලපෑ සයික්ලෝන් ‘දිත්වා’ හේතුවෙන් ගොඩනැගිලි, කෘෂිකර්මය සහ මූලික යටිතල පහසුකම්වලට ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක සෘජු භෞතික හානි සිදුව ඇති බව ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාවක් අනාවරණය කරයි. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4කට සමාන වේ.
මෙම ආපදාවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් පුද්ගලයන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් සහ පවුල් 5 ලක්ෂයක් පීඩාවට පත්ව තිබේ.
එම වාර්තාවට අනුව ආපදා හේතුවෙන් වැඩිම හානි සිදුව ඇත්තේ මධ්‍යම පළාතට වන අතර, මහනුවර දිස්ත්‍රික්කයට සිදු වී ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
යටිතල පහසුකම්වලට ඩොලර් බිලියන 1.735ක හානි සිදුව ඇති අතර, නිවාස හා දේපළවලට ඩොලර් මිලියන 985ක හානි වාර්තා වේ. කෘෂිකර්මයට සිදුවූ හානි ඩොලර් මිලියන 814ක් වන අතර, අධ්‍යාපන හා සෞඛ්‍ය ආයතන ඇතුලු අනෙකුත් වාණිජ ගොඩනැගිලිවලට ඩොලර් මිලියන 562ක හානි සිදුව ඇති බව එම වාර්තාව් වැඩිදුරටත් දැක්වේ.
එසේම මෙම වාර්තාව ආපදා ප්‍රතිචාර, නැවත ඉදි කිරීම සහ අනාගත ආපදා අවදානම් අවම කිරීම සඳහා වැදගත් මගපෙන්වීම් සපයයි.


