වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‘සාමය සඳහා වූ පා ගමන’ හරසරින් පිළිගනී

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‘සාමය සඳහා වූ පා ගමන’ හරසරින් පිළිගනී
  • SocialShare:

එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා ජනතාව ආකර්ෂණය කරගත් සාම පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක්සත් ජනපද චාරිකාව අතරතුර, 2026 පෙබරවාරි 10 වන දින වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතා උසස් ආකාරයෙන් පිළිගන්නා ලදී.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා 200 කට අධික සංඛ්‍යාවක් උදෙසා පවත්වන ලද දහවල් දානය සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සපයමින් දායක වූ අතර ජාතික එක්සත් මෙතෝදිස්ත දේවස්ථානයේ පැවැති එම දානය වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලදී.

කොලොම්බියා දිස්ත්‍රික් ලේකම් Kimberly A. Basset මහත්මියගේ ආරාධනයෙන් තානාපතිවරයා වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරේ පැවති අන්තර් ආගමික උත්සවයට ද සහභාගී විය. සාමය සඳහා වූ පා ගමනට සහයෝගය දක්වමින් ආසන දෙව්මැදුර වටා දහස් ගණනක් ජනතාව එක්රැස්ව සිටියහ. තානාපති මහින්ද සමරසිංහ මහතා සමඟ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මධුක වික්‍රමාරච්චි මහතා ද එක්විය.

ප්‍රධාන භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා තානාපති කාර්යාලයේ පිළිගැනීම සංවිධානය කළ ස්ථානයේ මොහොතකට නතර වූ අතර එහිදී තානාපතිවරයා අටපිරිකර පූජා කර, පඤ්ඤාකර හිමියන්ගේ සිවුර මත ශ්‍රී ලංකා ධජය සහිත ලාංඡනය පැලදවිය. තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රජාව මල් පූජා කර පා ගමනට ආචාර කළහ. පා ගමනේ සිටි සියලුම බැතිමතුන්ට තානාපති කාර්යාලය විසින් ජල බෝතල් බෙදා දුන් අතර එය බෙහෙවින් ඇගයීමට ලක්විය.

තානාපතිවරයා, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් පසුව භික්ෂූන් වහන්සේලා සමඟ පා ගමනට එක්විය.