බිහිරි ප්‍රජාව ආපදා අවස්ථාවන්වල දී අවදානමට පෙර සූදානම ඇති කිරීමෙහි ලා රජයේ ආයතන හා නිලධාරීන් උද්දේශනය කිරීමත්, දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් ආපදා තත්ත්වයන්ට පීඩාවට පත්වන බිහිරි ප්‍රජාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කරගත් හමුවක් පසුගිය දා (23) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ සෑම ප්‍රජාවක් සඳහාම විශේෂ අවධානයක් යොමු කළ ද ස්වභාවික ආපදා තත්ත්වයක දී පෙර සූදානම, ආපදා අවස්ථාවේ දී සහ ආපදාවෙන් පසු සිදුවන ක්‍රියාවලින් පිළිබඳ බිහිරි ප්‍රජාව අතර සන්නිවේදනය ඉතාම අවම මට්ටමක පවතින හෙයින් ඔවුන් ආපදාවක දී නිසි අන්තර්කරණයකට ලක් නොවීම හේතුවෙන් විවිධ අපහසුතාවයන්වලට ලක් වේ. මෙම තත්ත්වය අවම කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස පැන නැගී ඇත.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය හා ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ සංගමය යන පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම හමුවේ දී බිහිරි ප්‍රජාව ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකින් ලද තොරතුරු පදනම් කරගනිමින් ඉල්ලීම් කිහිපයක් පිළිබඳ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව ආපදා පෙර සූදානම් වීම පිළිබඳ එම ප්‍රජාව දැනුවත් කිරීම, සංඥා භාෂාව සම්බන්ධයෙන් පුහුණු නිලධාරීන් ඇති කිරීම, බිහිරි ප්‍රජාව වෙනුවෙන් රජයේ නිලධාරීන් පෙනී සිටීම, ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් බිහිරි ප්‍රජාවගේ තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධති යාවත්කාලීන කිරීම, ආපදා රැකවරණ හා සුරක්ෂිත මධ්‍යස්ථාන පිළිබඳ බිහිරි ප්‍රජාව දැනුවත් කිරීම, ස්වභාවික විපත් පිළිබඳ බිහිරි ප්‍රජාව දැනුවත් කිරීම පිණිස නව ඒකකයක් ඇති කිරීම ඇතුළු කරුණු කිහිපයක් විය.
එමෙන්ම ආපදා පෙර පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා බිහිරි සංගමය ලියාපදිංචි සාමාජිකයන් සහ සමාජ සේවා නිලධාරීන් විසින් හඳුනාගත් බිහිරි ප්‍රජාව ඇතුළු පිරිසක් එක්රැස් කර ගනිමින් ඔවුනට පහසු දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක සමස්ත ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට තීරණය විය. එමෙන්ම සංඥා භාෂාව පිළිබඳ නිලධාරීන් සදහා පුහුණු වැඩසටහනක් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, පරිපාලන ග්‍රාම නිලධාරීන්, ආපදා සහන හා ආපදා කළමනාකරණය නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන් නියෝජනය වන පරිදි ඉදිරියේ දී පැවැත්වීමටත් අපේක්ෂිතයි.
එමෙන්ම ස්වාභාවික ආපදා සම්බන්ධ විශේෂ තොරතුරු ලබාදීම සඳහා මෙම ප්‍රජාව ඇතුළත් වට්ස්අප් සමූහයක් සැකසීමටත්, බිහිරි පුද්ගලයින්ගේ පවුල්වල සංඥා භාෂා අවබෝධය ඇති සාමාජිකයන් භාෂා පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම කෙරෙහිත් අවධානය යොමු විය.
මෙම හමුව දිස්ත්‍රික් ආපදා කළමනාකරන අංශය විසින් සංවිධානය කර ලදී.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)දිලීප් නිශාන්ත, ආපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ එන්.ආර්.ඒ.විරාජ් දිසානායක, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර යන මහත්වරුන්, ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ ව්‍යාපෘති නිලධාරී භාග්‍යා සමරසිංහ, සභාපති කේ.බ්‍රයන් සුසන්ත, ලේකම් ඩී. අනිල් ජයවර්ධන, සංඥා භාෂා පරිවර්තක ජනක රණසිංහ යන මහත්ම මහත්මීන්, කෑගල්ල දිස්ත්‍රික් බිහිරි සංගමයේ සභාපති හා ලේකම්, ආපදා කළමනාකරණ අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.