ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් රුපියල් කෝටි 7.6ක මුදල් ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කෙරෙන බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නව ක්‍රීඩාංගණයේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා එක්විය.
මෙහිදි අමාත්‍යවරයා, විද්‍යාලයේ විදුහල්පතිවරයා, ආදි ශිෂ්‍ය සංගමය සහ ක්‍රීඩා නිලධාරීන් සමඟ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කළේය.
බදුල්ල ධර්මදූත විද්‍යාලය ඉතිහාසයේ සිටම ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහිකළ ක්‍රීඩාවට ප්‍රසිද්ධ පාසලක් වුවද, නිසි ක්‍රීඩාංගණයක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් වී තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වෙනත් ක්‍රීඩාපිටිවලට ගොස් පුහුණුවීම් කිරීමට සිදුවීම හේතුවෙන් දරුවන්ගේ ක්‍රීඩා අවස්ථා සීමා වී තිබූ බවද ඔහු පැවසීය.
එම ගැටලුවට විසඳුමක් ලෙස ආදි ශිෂ්‍ය සංගමය සකස් කළ සම්පූර්ණ ඇස්තමේන්තුව අනුමත කර මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවැනි විශාල මුදලක් එක්වරක් තුළ විද්‍යාලයේ ක්‍රීඩාංගණ සංවර්ධනය සඳහා ලැබුණු පළමු අවස්ථාව මෙය බවද ඔහු පැවසීය.
මාස හයක් වැනි කෙටි කාලයක් තුළ එළඹෙන දෙසැම්බර් මස මැද වනවිට වැඩ අවසන් කර දරුවන්ට අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලබාදීම තම අරමුණ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විද්‍යාල පාලනාධිකාරිය සහ ආදි ශිෂ්‍ය සංගමය ඉතා වගකීමෙන් සහ උනන්දුවෙන් කටයුතු කරන බැවින් නියමිත කාලයට පෙර ව්‍යාපෘතිය නිම කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පාසල් කිහිපයක ක්‍රීඩාපිටිද සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


