පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) හලාවතදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ හලාවත සහ පුත්තලම පොලිස් කොට්ඨාසවල සේවය කරන පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය හා පෞද්ගලික ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයා බැලීමයි.
එහිදී, නිලධාරීන් මුහුණ දෙන සේවා ස්ථානවල දුෂ්කරතා මෙන්ම පොලිස් සේවාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳවද දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
තවද, වයඹ පළාත තුළ පොලිස් නිලධාරීන්ගේ යටිතල පහසුකම් සහ වෘත්තීය පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු විමසා සිටියේය.


