නිල්වලා ලවණ බාධකයෙන් වගා හානි වූ මාතර ගොවීන්ට රුපියල් මිලියන 55ක වන්දි

නිල්වලා ලවණ බාධකයෙන් වගා හානි වූ මාතර ගොවීන්ට රුපියල් මිලියන 55ක වන්දි
  • SocialShare:

නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් වගා හානි සිදු වූ මාතර දිස්ත්‍රික්කයේ මඩිහ හා කැකණදුර යායවල්වල වගා කරන ලද ගොවීන් 448 දෙනෙකුට රුපියල් මිලියන 55ක වන්දි ප්‍රදානය කිරීම පසුගියදා (04) සිදු කෙරිණි.

මෙම වන්දි ප්‍රදාන උත්සවය මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති , කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර නූපේ සණස ශාලාවේදී පැවැත්විණි.

නිල්වලා ලවණ බාධකය හේතුවෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුක්‍රමික කන්න හතකදී සිදු වූ වගා හානි වෙනුවෙන් මෙම වන්දි මුදල් ගෙවනු ලබයි.ඒ සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

අදාළ කාලසීමාවේදී තමන්ට සිදු වූ වගා හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිසි පරිදි වාර්තා කර ඇති සියලු ගොවීන්ට මෙම සහනය හිමි වේ. ඒ අනුව වගා නොකළ ඉඩම් අක්කර 12,800ක් සඳහා වන්දි ප්‍රදානය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මඟින් ගොවි ජනතාවගේ ජීවනෝපාය යළි ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා, මාතර නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.