කරදියාන කසල අංගනයේ උද්ගත වී ඇති ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් පසුගියදා කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය විසින් අත්හැර දමන ලද ගල්වලවල් දිරාපත් වන කසළ යොදා පිරවීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ හා තාක්ෂණික වාර්තා පදනම් කරගනිමින්, අදාළ සියලු ආයතන එක්ව සකස් කළ සංකල්ප පත්රිකාව අමාත්ය මණ්ඩල සංදේශයක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, කරදියාන කසල අංගනයේ හදිසි තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය, කොළඹ මහ නගර සභාව සහ කෙරවලපිටිය කසල කළමනාකරණ මධ්යස්ථානය එක්ව දිරන හා නොදිරන කසළ ගාස්තු අයකිරීමකින් තොරව හුවමාරු කරගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාව සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා, කොළඹ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා, කොළඹ දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතා ඇතුළු නිලධාරීන් සහ අදාළ ආයතන නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.


