පාසල් දරුවන්ගේ පෝෂණය නංවාලීමට ආපනශාලා හිමියන් සහ ආහාර සැපයුම්කරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

පාසල්  දරුවන්ගේ පෝෂණය නංවාලීමට ආපනශාලා හිමියන් සහ ආහාර සැපයුම්කරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
  • SocialShare:

පාසල් ආපන ශාලා තුළින් සපයනු ලබන අහාර නිසි පෝෂණයෙන්, සෞඛ්‍යාරක්ෂිතව සහ දැරිය හැකි මිලකට සපයන ‘සිසු හිතකාමී පාසල් ආපනශාලා නිර්මාණය කිරිම හා පවත්වාගෙන යාම සඳහා “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය”සෞඛ්‍ය   හා ජනමාධ්‍ය අමාත්‍යංශය    පසුගියදා එළිදක්වනු ලැබීය.

එම මාර්ගෝපදේශයට අනුගතව සමස්ත පාසල් දරු පරපුරේ පෝෂණ තත්ත්වය නංවාලීම සහ ඔවුන් වෙනුවෙන් සමබර ආහාර වේලක් සහතික කිරීම අරමුණු කරගනිමින්   ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කලාපයේ සිසු පෝෂණ නියමුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  ජූලි මස 23 වන බ්‍රහස්පතින්දා සවස 2:00 ට බියගම, මානෙල්වත්ත බෞද්ධ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

 "නිරෝගී දරු පරපුරක් - රටේ සැබෑ වාසනාවයි" යන්න තේමා  කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන තුලින් පාසල් පරිශ්‍රය තුළදී සිසුන්ට උපරිම ගුණාත්මකභාවයෙන් හා පෝෂණයෙන් යුතු ආහාර වේලක් සහතික කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ ප්‍රමිතීන් පිළිබඳව ද ආපනශාලා හිමියන් සහ ආහාර සැපයුම්කරැවන් දැනුවත් කිරීමද සිදුවේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහයෝගය සහිතව  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතාගේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහනේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පරිසර, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අධ්‍යක්ෂ (Director - Environment, Occupational Health & Food Safety) වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සමස්ත පාසල් දරු පරපුරේ පෝෂණ තත්ත්වය නංවාලීම පිළිබඳව විශේෂ දේශණයක් ද පැවැත්වීමට  නියමිතය.

අනාගත පරපුර නිරෝගී සහ ශක්තිමත් සමාජයක් ලෙස ගොඩනැඟීම උදෙසා ඔවුන් කුඩා කල මෙන්ම පාසල් යන වයසේදී නිසි පෝෂණය ලැබීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වල ආපනශාලා හිමියන්, ආහාර සැපයුම්කරුවන්, දෙමාපියන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් ඒකාබද්ධ කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතූ යොදා ඇත.

මෙම වැඩසටහන  නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ,ඒ සදහා  ගමිපහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. එල්. නිල්මිණි පෙරේරා, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දන උඩවත්ත යන මහත්ම මහත්මීන්  සහ මහර, කැළණිය,වත්තල ප්‍රාදේශීය ලේකම්වරුන් ද එක්වීමට නියමිතය.