රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 (2026) රාජ්‍ය වෙසක් උත්සවය, මාතර - තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පසුගියදා (05) පැවත්විණි.

2026 මැයි මස 27 දින සිට ක්‍රියාවට නැංවෙන වෙසක් සතිය පුරා "සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්" තේමාව යටතේ සෞඛ්‍ය වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, පොහෝ දින වැඩසටහන්, කුල දරුවන් සසුන්ගත කිරීමේ වැඩසටහන්, ලේ දන් දීමේ වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත අතර මැයි මස 30 වන පුර පසළොස්වක පෝය දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිදෙල්ලවල පුරාණ විහාරයේ දී ජාතික වෙසක් දින උත්සවය පැවත්වීමට නියමිතය.

ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බෞද්ධ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව මෙම ජාතික වෙසක් උත්සවය හා වෙසක් සතියේ සිදු කෙරෙන වැඩසටහන් වලට අදාලව, තොරණ ඉදිකිරීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, විදුලි ආලෝක කරණය හා සැරසිලි සිදු කිරීම, ප්‍රථමාධාර හා සෞඛ්‍ය පහසුකම් සැපයීම, ප්‍රචාරක හා මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරිම ඇතුලු සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කොට අදාල ආයතන වෙත එහි වගකීම් පැවරීම සිදු කෙරිණි. එමෙන්ම ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ පූර්ව රැස්වීමේ ගත් තීරණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු මෙන්ම ඒවා නිරාකරණය කර ගැනීම සම්බන්ධ ද සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට, මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය බද්දේගම කුසල ස්වාමීන් වහන්සේ, ගරු ලේඛකාධිකාරී පූජ්‍ය හක්මන ඥාණවිමල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු, මාතර නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ යන මහත්වරුන් ඇතුලු දේශපාලන නියෝජිතයන්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී.සේනාරත්න මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ පිරිසක් සහභාගි වී සිටියහ.