ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ රථ වාහන මෙහෙයුමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ රථ වාහන මෙහෙයුමක්
  • SocialShare:

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (ගම්පහ) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (03) දියත් කරන ලදී.

ඒ අනුව බැලුම්මහර, වත්තල, මාබෝල, මිනුවන්ගොඩ යන ස්ථාන 4කදී දවස පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.

මේ සඳහා ගම්පහ මෝටර් රථ නියෝජ්‍ය කොමසාරිස් කලණ ජයනන්ද මහතා සහ මෝටර් රථ ප්‍රධාන පරීක්ෂක ප්‍රදීප් සංජීව මහතා ඇතුළු මෝටර් රථ පරීක්ෂකවරුන් සියලු දෙනාම ශ්‍රී ලංකා පොලිසිය (රථ වාහන අංශය) එක්ව සිටියහ. මෙහිදී පොදු ප්‍රවාහනයට සම්බන්ධ බස්රථ පාසල් වෑන් රථ බර වාහන රථ අහඹු ලෙස පරීක්ෂා කිරීම සිදු කරන ලදි.

ඒ් අනුව මෙහෙයුම අවසාන වන විට රථ වාහන 231ක් පරීක්ෂාවට ලක් කළ අතර එයින් රථ වාහන 33ක් තහනම් නියෝග නිකුත් කර ධාවනයෙන් ඉවත් කිරීමට ද වාහන 145කට දින 10ක් තුළ අලුත් වැඩියාකොට පෙන්වීමේ නියමයට යටත්ව අලුත්වැඩියා නියෝග ලබා දී ඇත.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයා කලන ජයනන්ද මහතා අදහස් දක්වමින් හඳුනාගත් දෝෂ සම්බන්ධව මෝටර් රථ අලුත් වැඩියාව සහ තහනම් නියෝග වලට අනුව ඒවාට අදාල ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ අතර නිවැරදි කළ හැකි දෝෂ නිවැරදි කර පෙන්වූ පසු එම වාහන නිදහස් කරන බවත්, සාමාන්‍ය පරිදි සිදු කරන මෝටර් රථ පරීක්ෂාවට අමතරව මෙම විශේෂ මෙහෙයුම් මාසිකව පවත්වන බවත්, මෙම වැඩසටහන් මහජනතාවගේ සහ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බැවින් ඒ සඳහා මහජනතාව ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවත් මෙහිදී සඳහන් කළේය.

එසේම මෙහිදී රියදුරු බලපත්‍ර නොමැතිව සහ විවිධ රථ වාහන වැරදි සහිතව ධාවනයේ යෙදුණු රියදුරන්ට ශ්‍රී ලංකා පොලිසිය විසින් දඩ කොල නිකුත් කිරීම ද සිදු කරන ලදී.