" අනාරක්ෂිත දරුවන් ගැන තොරතුරු ලැබෙනකන් ඉන්න එපා. අවදානම් සහිත දරුවන්, කාන්තාවන් හා පවුල් පිළිබඳව සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව කලින් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් තිබීම වැදගත්" බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අවධාරණය කරයි.
අග්‍රාමාත්‍යතුමිය මේ බව අවධාරණය කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති "බහු පාර්ශ්වීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන"ට එක්වෙමිනි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ බහු පාර්ශවීය මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපනය පිළිබඳ පවත්වන ලද දෙවැනි සාකච්ඡාව අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 28)කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පොදු මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මෙම අහිතකර බලපෑම අවම කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම උදෙසා, මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා වගකීම දරණ සියළුම රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පසුගිය මාසයේ "බහු පාර්ශවීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය වැඩසටහන" ආරම්භ කෙරිණ.
ඒ අනුව එම වැඩසටහන පිළිබඳව දෙවන සාකච්ඡාව මෙලෙස අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ එක් එක් පොලිස් කොට්ඨාශ මට්ටමින් මේ වනවිට සිදුකර තිබෙන මත්ද්‍රව්‍ය වැටලීම්, අත් අඩංගුවට ගැනීම්, බන්ධනාගාරගතකිරිම්, පුනරුත්ථාපනගත කිරිම්, ප්‍රජා විශෝධන වැඩසටහන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරිම සහ පාසල් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය පිළිබඳව දිර්ඝව සාකච්ජා කරන ලදී.
ඒ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, අනාරක්ෂිත දරුවන් පිළිබඳව තොරතුරු නිලධාරින් වෙත ලැබෙනතුරු බලා නොසිට අවදානම් සහිත දරුවන්, කාන්තාවන් හා පවුල් සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව කලින් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් තිබීම සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් අනාරක්ෂිතභාවයට පත්වන දරුවන් සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කිරිම වැදගත් බව නිලධාරින්ට පෙන්වා දෙන ලදී.
එමෙන්ම ප්‍රාදේශීයව පිහිටුවා ඇති ළමා ආරක්ෂණ කමිටුවල වත්මන් තත්වය පිළිබඳව ද අගමැතිනිය විසින් මෙහිදී කරුණු විමසනු ලැබීය. සෑම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල න්‍යාය පත්‍රයට මෙම කාරණය ඇතුළත් කර ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරිමටත් පාසල්තුළ ව්‍යුහ කමිටු අනිවාර්යෙන්ම පවත්වාගෙන යමින් ළමුන් පාසලට පැමිණීම නොපැමිණීම පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමටත් තීරණය විය.
මෙම කාරණයේදී සියළුම ආයතනවල මනා සම්බන්ධිකරණය ඉතා වැදගත් බැවින් එක් ආයතනයකට පමණක් වගකීම ලබානොදී සියළු දෙනාගේ සහයෝගය මේ සඳහා ලබාදී වැඩසටහන සාර්ථක කර ගැනීමට කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍යතුමිය විසින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මේ සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කංචනා ගුණවර්ධන මහත්මිය, බන්ධනාගාර කොමසාරිස්තුමා, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, සුරාබදු දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදා නියෝජිතයින්, දුම්කොළ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරිය, පුනරුත්ථාපන කාර්යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, කලාප අධ්‍යාපන කාර්යාල, ප්‍රධාන සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාංශ, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කාන්තා කාර්යාංශය යන ආයතන ප්‍රධානින්, සහකාර පොලිස් අධිකාරිවරුන්, සියළුම ස්ථානභාර පොලිස් නිලධාරින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂ්‍රේත්‍ර නිලධාරින් සහභාගි විය.


