ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් මුතියංගන සෑරදුන්ට කංචුක පූජාවක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් මුතියංගන සෑරදුන්ට කංචුක පූජාවක්
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කළ කංචුක පූජා වැඩසටහනක් ඊයේ (27) පෙරවරුවේ බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15 ම නියෝජනය වන පරිදි සහභාගි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට කංචුකයා තම හිසමත තබා අලංකාර පෙරහරකින් මුතියංගන රජමහා විහාරස්ථානය කරා ගමන් කළහ. පිරිස වෙත කංචුකය බාරදීම හා පෙරහැරේ සමාරම්භක අවස්ථාවට බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලන්ති සමරවික්‍රම මහත්මිය සහ පරිපාලන නිලධාරී පූර්ණිමා බස්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මුතියංගන සෑරදුන් වටා කංචුකය පැළඳවීමෙන් අනතුරුව පිරිසට ධර්ම දේශනාවකට සවන් දීමේ අවස්ථාවද සලසා තිබුණි.බදුලු මුතියංගන විහාරවාසී කුඹල්ගමුවේ සරණපාල ස්වාමීන් වහන්සේ විසින් ධර්මානුශාසනාව සිදු කරන ලදී. එම අවස්ථාව මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බල මණ්ඩලයේ 500ක පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක්ද සහභාගි විය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, සන්ධ්‍යා කුමාරි මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කොට තිබූ අතර බෞද්ධ කටයුතු සමායෝජක පාලිත පෙරේරා, සමාජ සේවා නිලධාරී පී.ටී.වීරවන්නි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අවශ්‍ය සහාය ලබා දී තිබුණි.