බදුල්ල, බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර

බදුල්ල, බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර
  • SocialShare:

වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රයෝජනයට නොගත් අක්කර 177කින් සමන්විත බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා පැවසීය.

වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රයෝජනයට නොගත් අක්කර 177කින් සමන්විත බොරලන්ද රජයේ සත්ව ගොවිපලේ කෘෂි හා  සංචාරක වැඩසටහන් රැසක් ආරම්භ කිරීමේ අරමුණින් පසුගියදා (20) සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය

කොරියානු රජයේ අනුග්‍රයහය යටතේ ක්‍රියාත්මක වන "සේමාවුල් බීජ අර්තාපල් නිෂ්පාදන වැඩ සටහන" මේ වන විටත් මෙම ගොවිපලේ ආරම්භ කිරිමට කටයුතු කර තිබේ. එම ව්‍යපෘතියෙන් වසරකදි අර්තාපල් මෙට්‍රික් ටොන් 4.5ක් බැගින් වසර පහක කාලයක් බීජ අර්තාපල් නිෂ්පාදනය කර දිවයින පුරා ගොවීන් වෙත බෙදාහැරීමට සැළසුම් කර තිබේ.

ඉතා ආර්ශනීය ස්ථානයක් වන මෙම මනරම් භුමියේ ඉදිරියේ දී දේශීය හා විදේශීය සංචාරකයින් සදහා නැවතුම් පළවල් ඉදිකිරීමට බලාපොරොත්තු බවත් එයින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද හැකිවනු ඇති බවත් ප්‍රධාන ලේකම් ගම්මම්පිල මහතා සදහන් කළේය.

දැනට මෙහි පවත්වාගෙන යනු ලබන කිකිලි පැටවු ඇති කිරීම, බිත්තර නිෂ්පාදන අංශය, බ්‍රොයිලර් කුකුල් මස් අංශය, එළ කිරි නිෂ්පාදන අංශය, ඌරන්,එළුවන්, මීගවයින් හා හාවුන් ආදි සතුන්ගෙන් සමන්විත සත්ව නිෂ්පාදන අංශය සහ පළතුරු නිෂ්පාදන අංශය ආදිය නවීන තාක්ෂණයත් සමග වැඩි දියුණු කර පළාතේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාදීමටද මෙමගින් අපේක්ෂා කෙරේ.

පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් උපාලි ජයසේකර මහතාගේ උපදෙස් හා සංකල්ප මත ක්‍රියාත්මක වෙමින් තිබෙන, වර්තමාන කෘෂිකර්ම ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය යටතේ පවත්වාගෙන යන බීජ අර්තාපල් නිෂ්පාදන වැඩ සටහනට සමගාමිව සිදුවන සංවර්ධන ව්‍යපෘති නිරීක්ෂණයටද ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා සමග දකුණු කොරියාවේ ග්යෝන් සන් බුක් දෝ පළාතේ චෝන්දෝ දිස්ත්‍රික්කයේ ප්‍රාන්ත ආණ්ඩුකාර කිම් හසෝ මහතා හා දුත පිරිස, සේමාවුල් පදනමේ නියෝජිතයින් පිරිස සමග පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.