අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් ලක්ෂ 20ක විදුලි බල්බ බෙදාදෙයි

අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් ලක්ෂ 20ක විදුලි බල්බ බෙදාදෙයි
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය  නොමිලේ විදුලි බල්බ බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (13) ඌව පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම විදුලි බල්බ තොගය ලබාදී තිබුණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ විදුලි බල්බ 4,000ක් බෙදාදීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 14ක් ආවරණය වන පරිදි බෙදාහැරීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

වෙළඳපොළ මිල අනුව එක් බල්බයක වටිනාකම රුපියල් 500ක් පමණ වන අතර, බෙදාදෙන සමස්ත බල්බ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව සඳහන් කෙරිණි.

තිරසාර බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමත් අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි පරිභෝජන වියදම් අවම කිරීම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු පළාත් සභාවේ උසස් නිලධාරීන් පිරිසක් එක්වූහ.