කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී
  • SocialShare:

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (12) පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව බෝමිරිය විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.
එහිදී, අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැනුවත් කිරීමද සිදු කෙරිණ.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එයින් පාසල් ළමුන්ට ඇති වැදගත්කමද මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතිකපත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් පාසල වෙත වටිනා පැළයක් ප්‍රදානය කිරීමද සිදු විය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ. එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) ජයලත් පෙරේරා, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, මහජන සේවා නිලධාරි දුමින්ද වික්‍රමසිංහ, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එම්. එම්. ඒ. ඒ. එම්. තිලකරත්න, විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු භාර ආචාරිනී නදීකා උදයංගනී පෙරේරා යන මහත්ම මහත්මීන්, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.